රනින් දිලුනත් මුදු සිනිඳු වත
මනා නිම කල පිළිමයක් ලෙස
සේද පට පිලි වලින් සරසා
රූ සපුව නුඹේ තවත් ඔප කල
රනින් රිදියෙන් කරපු අභරණ
ගත දවටගෙන සර්ව පිත්තල
දිනෙන් දිනයට වෙනස් හැඩතල
වර්ණ සහ වැඩ දැමූ මෝස්‌තර
රටා මවමින් යනෙන මඟ නුඹ
හැරී බැලුවත් දකින හැම දෙන
ගස්සමින් නුඹ තවත් වෙර ගෙන
අඩි හත අටක් උඩින් පියමැන
දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම්
දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුව
උදම් වීමට කරුණක්ද එය?
පිට ඔපය ඩැහැ ගනියි කාලය
සියළු දේ අස්ථීර ලොව තුළ
ඔය රුවත් වෙයි තාවකාලික
මහළු වී වැහැරුණු පසුව රුව
කුමන දේකට උදම් වන්නද?
නැතත් හැම නෙත් බඳින හැඩරුව
චාම් ඇදුමෙන් සරසගෙන වත
ඇතොත් ලස්සන හදවතක් සොඳ
සදාකල් නුඹ තබයි ඔසවා
ලොවම සුන්දර කරන ගතිගුණ........