කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

Saturday, 21 March 2015

විසිරුණු අරුමැසි












වෙලාවක් නැති නිසාදෝ
කලාවක් ලෙසද කොහෙදෝ
හරි හැඩයි මං සිතාදෝ
නොබදිති කොන්ඩේ කෙල්ලෝ......

යන එන අතර බසයේ
හිඳගති ළඟම අසුනේ
මායිම් නොමැති කොන්ඩේ
සැණෙකින් මාගේ මුහුණේ.....

සොලවා හෙමින් මුවගේ
හදමින් අතින් හිසකේ
ගස්සා බලයි මදෙසේ
මං අවුල් කල විලසේ
ඇගේ කීකරු කොන්ඩේ.....

බදීනම් හොඳට කොන්ඩේ
නැතුව නොවේද ඔය වදේ
ගැනුමට කොන්ඩ පටියක්
හිතුනා දෙන්න සල්ලි.............



Friday, 6 March 2015

මිතුදම....




සදාකාලික මිතුරුදම් ගැන අරුත් පහදන                          සමහරුන්
කලණ මිතුදම් කෙසේ රකිනුද නමද  අමතක වෙයි              සැණින්
කිසිදිනෙක අමතක නොවෙයි මිතුදම වෙනස් නොව මතු කිසි  දිනේ
කියපු අය හටමය මතක නැති කොහේදැයි සොයනෙමි           ඔවුන්

ඉසුර ඇති කල බොහෝ දෙන ඇත සතුට සිනහව වට             කරන්
එම සියළු දෙන දුකට නැති කීම ඉතිරි වෙති ඉන්                  අල්පයක්
මෙලොව නොවෙනස් එකම දෙයනම් වෙනස් වීමම          නිසාවෙන්
බොහෝ දෙන වෙයි වෙනස් සැමකල් අමතක කරති මිතුරන් සැණින් 

විටක පැණිරස වේවි නීරස
වෙනස් වෙයි සැම නොසිතු සේ
සුවඳ මල් ළඟ පිරෙති බඹරුද
සුවඳ නැති කල තනිකමින්

මිතුදමට  ලොව ඇත්ද  සීමා
නීති හා  බාධා ලෙසින්
නොමැත  සීමා සත්‍ය මිතුදම 
අනන්තය වෙත යයි තුටින්

සතුට දුක ළඟ ඇති එකම ලෙස
සයුරු රළ වෙත වෙරළ මෙන්
සදා නොමියෙන කලණ මිතුදම
මං කියයි නැවකට රුවල මෙන් 


බොහෝ දෙනා අපේ ජීවිත වලට එති. බොහෝ දෙනා අපේ ජීවිත වලින් යති. නමුත් ළඟක සිටියද, දුරක සිටියද, සැබෑ මිතුරන් අපව අමතක නොකරති. ඔවුන්ගේ හදවත් තුළ අප සිටියි නම් නිබඳ අප ගැන සොයා බලති.  





Monday, 9 February 2015

හමුවීම

                                               ඇය මා හට කෙතරම් ළං වුවත්   තාමත්  මට  ආදරේ  යැයි  කියා නැත. මමද  ඇයගෙන්  ඒ පිළිබඳව  විමසීමට  බියෙන් පසුවෙමි. මන්දයත්  කෙලෙසින්  හෝ ඇය මට අකමැති  වුවහොත් ඇයගේ  ආදරය පමණත් නොව මිතුරුකමද  මට අහිමිවන නිසාවෙනි. කැමැත්ත  අසා අකමැති වුවහොත්  දැන් කරන ලෙස ඇය සමඟ නිදහසේ  කථා කිරීමට message කිරීමට මට නොහැකිවනු ඇත. ඇය ඒ සඳහා බාධා පනවනු නොවනුමානය. කෙසේ වෙතත් මා නිතරම ඇය  සමඟ ෆොන්  එකෙන් message හුවමාරු කරගන්නා අතරම හැකි තරම් ඇයට  සමීපව  සිටීමට උත්සාහ කරන්නෙමි.


                                  ඇය  ප්‍රථමයෙන්ම  මාගේ නෙත ගැටුනේ විශ්ව විද්‍යාල  ප්‍රවේශය  සඳහා සුදුසුකම් ලැබ  නායකත්ව පුහුණු  කඳවුරට  සහභාගී වූ අවස්ථාවේදීය. එහිදී  ඇය  මා අයත් වූ කාණ්ඩයේම සාමාජිකාවක් වුවාය. සති දෙකක් වැනි ඉතා කෙටි කාලයකදී  වුවද  මා ඇය  ගැන බොහෝ  දේවල්  උගත්තෙමි , තේරුම්ගත්තෙමි. ඇය දුටු මුල්ම දිනයේ සිටම ඇය මාගේ මිතුරියක් කර ගත්තද ඇයට පෙම්වතෙක් සිටීදෝ හෝ නොසිටීදෝයි යන සැකය මාගේ සිතට විටින් විට වධ දෙන්නට විය. කිහිප වරක්ම වටින් ගොඩින් ඒ ගැන අසා සිටියද හරි හැටි ස්ථීරකොට ඒ ගැන දැනගැනීමට මට නොහැකිවිය. දිනක් නායකත්ව පුහුණු කඳවුරේ ක්‍රියාකාරකමක්  අතරතුරදී  ඇය කාට හෝ message එකක් යවනු මම දුටුවෙමි. "කාටද සඳුනි මේ පණ දාගෙන message කොටන්නේ? boyfriend ට නේද?" මම සිනාසෙමින් ඇසුවෙමි. "පිස්සුද අනේ.., මේ  යාළුවෙක්ට .." ඇයද  සිනාසෙමින් පිළිතුරු දුන්නාය. "හරි හරි ඉතිං  boyfriend කියන්නෙත් එක්තරා විදියකට ගත්තම යාළුවෙක් තමයිනේ." මා නැවතත් ප්‍රකාශ කලෙමි. "පිස්සුද අනේ.. මට එහෙම කෙනෙක් නෑ.. මන් තාම තනිකඩයිනේ .." ඇය කිවේ මුවගේ සිනහවක්ද රඳවාගනිමිනි. 
                                            ඇති යාන්තම්. දින ගණනක් තිස්සේ දැන ගැනීමට උත්සාහ කල දෙය ස්ථීරවම දැන ගැනීමට හැකිවීම ගැන මම සතුටු වුනෙමි. එයට ලැබුණු පිළිතුරද  මා අපේක්ෂා කල පිළිතුරම  වූ නිසා මා හට දැනුනු සතුට දෙගුණ තෙගුණ වන්නට විය. එතැන් පටන් ඇය කෙරෙහි හැකිතාක් ළං වීමට මම උත්සාහ දැරුවෙමි. කෙමෙන් කෙමෙන් ඇය මාගේ සමීපතම මිතුරියක් බවට පත්වූවාය. නායකත්ව පුහුණු කඳවුර
තුළ ගතකළ කාලය තුළදී ඇය කෙරේ බොහෝසෙයින්  ළංවීමට  මා හට හැකියාව ලැබුණි. කාලයාගේ  ඇවෑමෙන් පුහුණු කඳවුරේ ගෙවන්නට ලැබුණු සති දෙකද නිමාවන්නට විය. කඳවුරේ මිතුරන් හැර දමා ආපසු ගෙදර ඒමට සිදුවූ දිනය මා ජීවිතේ වැඩියෙන්ම දුක්වූ දින වලින් එකක් විය. එයට හේතුව වුයේ කඳවුර තුළ ගතකළ දෙසතියට දමා යා නොහැකි තරම් සුන්දර මිතුරන් පිරිසක් ලැබීම පමණක්ම නොවේ ඒ හැමදෙනේක්ටම වඩා මාහට ලංවූ සඳුනිද  යලිත් හමු නොවීමයි. යළි කිසිම දිනෙකත් මට මේ සති දෙක තුළ තරම් ඇය සමඟ සමීපව ගත කිරීමට අවකාශයක් නොලැබී යාවි. උදේ හවස දුටු ඇයගේ සුන්දර මුහුණ යළිත් සෑහෙන කලක් යනතුර දක්නට නොහැකිවේවි. කෙසේ වෙතත් ජීවිතයේ කෙදිනක හෝ කවරකු හෝ අප නෙත ගැටුනද, අප හා සමීප වුවද , කෙදිනක හෝ ඔහු හෝ ඇයගෙන් වෙන්වීමට සිදුවීම ලෝක ධර්මතාවයයි. ගතින් ඇය දමා යාමට සිදු වුවද සිතින්නම් මම සැමදා  ඇය ළඟමය.
                                       නායකත්ව පුහුණුව අවසන් වුවද මා සුපුරුදු ලෙසම ඇය සමඟ දුරකථනයෙන් පණිවුඩ හුවමාරු කරගත්තෙමි. මාහට අවශ්‍ය වුයේ කඳවුරේදී මෙන්ම ඇයට හැකිතාක් සමීපව සිටීමටය. මාගේ ලොකුම බලාපොරොත්තුව වුයේ ඇය තේරී පත්වන විශ්වවිද්‍යාලයටම මටත් ඇතුළත් වීමට හැකියාව ලැබේවා යන්නය. එවිට නැවතත් කඳවුරේදී මෙන්ම උදේ හවස ඇයව දැක බලා ගැනීමට වරම් ලැබේවි. ඇයට තව තවත් සමීප වීමට අවස්තාව උදා වේවි.  කාලයක් තිස්සේ ඇය සමඟ ඉතාමත් සමීපයෙන් ගනුදෙනු කල නිසාදෝ , ඇය මට කැමතිය යන හැගීම මගේ සිත තුළ තදින්ම මුල්බැසගෙන තිබුණි. නමුත් ඇයගෙන් කැමැත්ත විමසීමට මගේ සිත නිතරම පසුබට වුවේය.
                                        කෙසේ වෙතත් අප දෙදෙනාටම විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කැඳවුම් ලිපි ලැබුණි. සතුට යනු අප දෙදෙනාටම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවකාශය ලැබීමයි. දුක යනු ඇය තේරී පත්ව ඇත්තේ මා තේරී පත්ව ඇති පීඨයට නොව වෙනත් පීතයකට වීමයි. එකම පීඨයට ඇතුළත් වීමට වරම් නොලැබුණද එකම විශ්වවිද්‍යාලයට හෝ ඇතුළත් වීමට හැකියාව ලැබීම පිළිබඳව මා සතුටු වුනෙමි."බලන්නකෝ සඳුනි අපි දෙන්නම එකම ෆැකල්ටි එකට සිලෙක්ට් උනේ නැහැනේ. නැත්නම් මට හැමදාම ඔයාව දකින්න තිබුණා." "ඉතිං සුපුන්, අපි දෙන්නම එකම කැම්පස් එකේනේ. අපිට නිතර නිතර හම්බවෙන්න පුළුවන්වෙයි." 
                                  අපටත් රහසේ ගෙවී ගිය කාලය   රැග් සීසන් එක නිමාවට පත්කළ අතර  ක්‍රම ක්‍රමයෙන් අපි විශ්වවිද්‍යාලය තුළ පිළිගත් සිසුන් සමූහයක් දක්වා  ඔසවා තැබුවේය. නමුත් ඒ දක්වාත් සඳුනි මාගේ මිතුරියක් පමණක්ම වුවාය. මට තවමත් ඇයගෙන් කැමැත්ත විමසීමට තරම් නිර්භීත සිතක් පහළ නොවුනේද? නැතහොත් ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොලබුනේද? එසේත් නැත්නම් ඇය මාගෙන් කැමැත්ත විමසන තුරු මා බලා සිටියාද යන්න මටද  නිශ්චිතවම තෝරාගැනීමට  නොහැකිය. කෙසේ වෙතත් ඇය අයත් වූ පීඨයේම ළමයෙක් ඇය වෙත ළං වේදෝයි යන භිය මාගේ සිත තුළ විය. එමනිසා මම ඇය කෙරෙහි හැකිතරම් සමීප වීමට උත්සාහ කළෙමි. ඇයට කෙටි පණිවුඩ යැවීම දිගටම සිදු කල අතර හැකි සෑම වෙලාවටම දුරකතනයෙන් අමතන්නද අමතක නොකළේය.
                          කාටත් හොරා කාලය පැන  යද්දී මාගේ සිතද තැනින් තැනට දුවන්නට විය. සඳුනි කෙරෙහි දක්වන ලද කැමැත්ත සම්පූර්ණයෙන්ම පහ නොවුනද  සමහර කාල වකවානු වලදී විවිධ ගැහැණු ළමුන් කෙරෙහි මාගේ සිත ඇදී යන්නට විය. නමුත් බොහෝවිට ඒවා සිතුවිලිම පමණක් විය. එසේ මාගේ සිත්ගිය ඇතැම් ගැහැණු ළමුන් වෙනත් පිරිමි ළමුන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගත්තේද මා බලා සිටියදීමය. එවැනි අවස්ථා වලදී සඳුනි සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාවයේ සමීපබව යම්තාක් දුරකට අඩු වුවද  එවැනි සිතුවිලි තුරන් වී ගිය වහාම වෙනදාටත් වැඩියෙන් ඇයට ළංවීම සිදුවිය.
                               කෙසේ වෙතත් ගතවූ මාස කිහිපය තුළ මා අන් කවරදාකටත් වඩා  ඇය වෙත ළංවී තිබුණි. එයටත් වඩා ඇයද මා වෙත බොහෝ සෙයින් ළංවී ඇතිබව මාහට දැනෙන්නට විය. ඇයගෙන් කැමැත්ත විමසීමට මෙයනම් හොඳම වේලාවයැයි මට සිතුණි. නමුත් හැමදාකම මෙන් ඒ සඳහා  මාගේ සිතේ  වූ බිය නිසාදෝ   එම කාර්යයද මාගේ සිත  දිනෙන් දින පස්සට දමන්නට විය. නමුත් ඇය මා හා කතා කල විලාසයෙන් මා හා පැවසූ  දේ වලින් ඇය මට කැමැත්තෙන් පසුවන බව මට නිශ්චිතවම සනාථ කරගතහැකිවිය. වැඩිකල් නොගොස්ම ඇයම මාගෙන් කැමැත්ත විමසාවි යන හැගීම මාගේ සිත තුළ රෝපණය වන්නටවිය. මා කෙතරම් බොළඳද? කෙදිනකවත් ගැහැනියක් ප්‍රථමයෙන් පිරිමියකුගෙන් කැමැත්ත විමසාවිද? එය සිහිනයකින්වත් සිදුවිය නොහැක්කකි. නමුත් ඒ සිහිනයට මා බෙහෙවින් ආශා කළේය. එම සිහිනය තුළම ජීවත්වීමට මාගේ සිත ප්‍රිය කළේය.
                        තනියම ඇය හමුවී කථා කිරීමට මා බොහොමත්ම ආශාවෙන් පසුවුනෙමි. මම කිහිප විටක්ම වටින් ගොඩින් ඇයගෙන් මේ ගැන විමසා සිටියෙමි. නමුත් එය සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. නොඑසේනම් ඇයට එම වටින් ගොඩින් කියූ දෙය නොතේරුණා විය හැකිය. කෙසේවෙතත් ඇය හදිසියේම වගේ මා හමුවීමට අවශ්‍ය බව දන්වා සිටියාය. එය ඇසූ මගේ සිත සතුටින් පිරී ඉතිරී ගියේය. මෙයනම් මා මහත් ආශාවෙන් බලා සිටි මොහොතකි. එනම් මා සිහිනයකින් පමණක් අපේක්ෂා කරන ලද්දක් යථාර්තයක් බවට පත්වීමට යන සෙයකි. ඇයට මා හමුවීමට වෙනත් කිසිදු අවශ්‍යතාවයක් නොමැත. සඳුනි හට මා හමුවීමට අවශ්‍ය වී ඇත්තේ කුමක් නිසාද? නිසැකවම මාගෙන් කැමැත්ත විමසීමට විය යුතුය. ඇත්තටම මට සඳුනිගෙන් ලැබුණු කෙටි පණිවුඩය විශ්වාස කළ නොහැකිවිය. ඇය පවසා තිබුනේ හෙට හවස 3ට සල්ගස යටදී ඇයව හමුවන ලෙසයි. මට මෙය විශ්වාස කල නොහැකි විය. වෙන කෙනෙකුට යවනලද කෙටි පණිවුඩයක් වැරදීමකින් මාවෙත ලැබී ඇත්ද? "ඔය ඇත්තමද අනේ? මොකටද?" ලෙස ඇයට නැවතත් කෙටි පණිවුඩයක් යැව්වෙද එම සැකය නිසාවෙනි."ඔව් ඔව් අනේ හෙට 3ට සල්ගහ යටට එන්නකෝ මට ඔයාව මීට් වෙන්න ඕන. ආවම කියන්නම් මොකටද කියල " ලෙස පිළිතුරු ලැබුණි.
                               එදින උදෑසනින්ම අවදිවූ මම පාන්දරින්ම හොඳට නාගත්තෙමි. ඒ සදුනිව හමුවීමට යනවිට හැකිතරම් ප්‍රියජනක ලෙස යා යුතු වන නිසාය. වෙනදා විනාඩියට දෙකට දත් මැද මුහුණ සෝදාගන්නා මම එදින පැයක් පමණ දත් මැද්දෙමි.  එමෙන්ම ලස්සනට පිළිවෙලට අළුත් ආරකට රැව්ලද කපා ගත්තෙමි. පහුගිය දිනක අම්මා මට අලුතින් කමිසයක් ගෙනවිත් තිබුණු අතර  එය ගෙනවිත් දී දැන් මාසයක් පමණ ගත වුවද තවමත් එක්වරක් හෝ මම එය නොඇන්දෙමි. මා ඒ කමිසය අරන් තැබුවේ විශේෂ අවස්ථාවකදී ඇඳීම සඳහාය. මෙම කමීසය ඇඳීම සඳහා මීට වඩා විශේෂ අවස්ථාවක්නම් උදා නොවනු ඇත. අලුත්ම කමිසය සමඟ මාහට තිබු හොඳම ඩෙලිමද ඇඳගත් මම නංගීගේ perfume බෝතලයද ඇග පුරාම ගසා ගත්තෙමි. ගෙදර ඇය එහාට මෙහාට වනතෙක් සිට හොරෙන්ම ගෙදරින් පැනගත් මම කැම්පස් එක බලා පියවර තැබුවෙමි. ඒ වෙනදාට වඩා මාගේ දක්නට ලැබුණු අළුත් වෙනස ගැන ගෙදර අය ප්‍රශ්න කරනු ඇතැයි යන භිය නිසාවෙනි.




                               මා හවස තුනටත් කලින්ම සල්ගස ළඟට ගියෙමි. වෙලාවටත් කලින්ම එතනට ගිය මම ඇය එනතුරු බලා සිටියෙමි. වේලාව සවස තුන පසුවී විනාඩි කිහිපයක් ගතවන්නට ඇත , සල්ගහ ළඟින් වැටී ඇති පාර දිගේ ඈතට වන්නට සෙමින් සෙමින් පිය මනිනා සඳුනිව හඳුනාගැනීම මට එතරම් අපහසු කටයුත්තක් නොවීය. අද ඇය වෙනදාටත් වඩා ලස්සනයැයි මට සිතුණි. "අහ්හ් සුපුන් , ඔයා වෙලාවටත් කලින්ම ඇවිත්නේ." මා දුටු විගසම ඇය සිනාසෙමින් කියන්නට වූවාය. "නෑ මන් වෙලාවට ආවා. ඔයා තමයි විනාඩි දෙක තුනක් පරක්කු උනේ ." මම සිනාසෙමින් කීවෙමි.මෙලෙස අපි දෙදෙනා ටික වේලාවක් ආගිය විස්තර කතා කළෙමු. "ඒක නෙවෙයි සඳුනි, ඇයි ඔයා මාව මීට් වෙන්න ඕන කිව්වේ?" ඇයගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවනු දක්නට ලැබුණි. ආයේ දෙකක් නැත ඇය මෙතරම් ලජ්ජා වන්නේ මාගෙන් කැමැත්ත විමසීමට හැර වෙන කුමකටද?  "හරි හරි කියන්නම් අනේ..පොඩ්ඩක් ඉන්නකෝ , මොකද ඔච්චරටම හදිසි?"  ඇය පිළිතුරු දුන්නාය . "නෑ එහෙම හදිස්සියක් නෑ ඉතිං, මන් දැනගන්න ඇහුවේ." "නෑ අනේ...... මේ .....මේකයි......." ඇය තම අත් බෑගයට අතදමා යමක් සොයන්නට විය. තම ආදරය කටින් කීමට තිබූ ලැජ්ජාව නිසා එය ලිපියකින් ලියාගේනවිත් සේය. ටික වෙලාවකින් බෑගයෙන් යමක් එළියට ගත් ඇය එය මා දෙසට දික් කරමින් මෙසේ කියන්නට විය. "අනේ සුපුන් , මට මෙන්න මේ ටික විකුණලා  දෙන්නකෝ." ඇයගේ අතෙහින් වුයේ පෑන් මිටියකි. එහි යම්කිසි වචන කිහිපයක්ද සටහන් කර තිබුණි. University of Colombo Faculty of Science යනු එහි සඳහන් කර තිබූ වචන කිහිපයයි.
     



Saturday, 18 October 2014

සදාකාලික ලස්සන......










රනින් දිලුනත් මුදු සිනිඳු වත 
මනා නිම කල පිළිමයක් ලෙස
සේද පට පිලි වලින් සරසා
රූ සපුව නුඹේ තවත් ඔප කල

රනින් රිදියෙන් කරපු අභරණ
ගත දවටගෙන සර්ව පිත්තල
දිනෙන් දිනයට වෙනස් හැඩතල
වර්ණ සහ වැඩ දැමූ මෝස්‌තර

රටා මවමින් යනෙන මඟ නුඹ
හැරී බැලුවත් දකින හැම දෙන
ගස්සමින් නුඹ තවත් වෙර ගෙන
අඩි හත අටක් උඩින් පියමැන

දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම්
දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුව
උදම් වීමට කරුණක්ද එය?
පිට ඔපය ඩැහැ ගනියි කාලය

සියළු දේ අස්ථීර ලොව තුළ
ඔය රුවත් වෙයි තාවකාලික
මහළු වී වැහැරුණු පසුව රුව
කුමන දේකට උදම් වන්නද?

නැතත් හැම නෙත් බඳින හැඩරුව
චාම් ඇදුමෙන් සරසගෙන වත
ඇතොත් ලස්සන හදවතක් සොඳ
සදාකල් නුඹ තබයි ඔසවා
ලොවම සුන්දර කරන ගතිගුණ........





Friday, 8 August 2014

අරුංගල්

                                            නිල්මිණීගේ නිවස  අසළ  මිනිස්සු  පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීම පිණිසය.නිල්මිණීගේ අතින් අල්ලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනක් ගේ ඇතුළෙන් එලියට ආවාහ.මල් මල් ගවුමකින් සැරසී සිටි නිල්මිණීගේ දෙනෙත් කඳුළින් තෙත්වී තිබෙනු ගුණපාලට දැකගත හැකිවිය. රැස්ව සිටි පිරිසට මුහුණදීමට ලැජ්ජාවෙන්දෝ ඇය සිටියේ බිම බලාගෙනමය. ඇයගේ සියුමැළි දෑත වෙලාගෙන තිබුණු මාංචු දැක ගුණපාලට තම දෑස අදහාගත නොහැකිවිය. රැස්ව සිටි පිරිස පසෙකට කල පොලිස් නිලධාරීන් දෙදෙනා නිල්මිණීව සිය රථය දෙසට කැඳවාගෙන ගියෝය. හයක් හතරක් නොතේරෙන නිල්මිණීගේ සිඟිති දියණිය හඩා වැළපෙද්දී නිල්මිණී රැගත් ජීප් රථය ගෙදරින් පිටත්විය.




                                                 ගුණපාලට නිල්මිණී කෙරෙහි සිතක් පහළ වූයේ ඇය පාසල් යන අවදියේමය. කොන්ඩ කරල් දෙකක් බැඳ සුදුගවුමින් සැරසුණු නිල්මිණී ඉතාමත් සුන්දර යුවතියක් වුවාය. දැන් තිබෙන මළානික වූ දෑස් එකළ නිල්මැණික්  සේම දිලිසෙනු ගුණපාලට මතකය. ගුණපාල මෙන්ම තවත් බොහෝ පිරිමි ළමුන් එකළ නිල්මිණී කෙරෙහි වසඟ වී සිටියෝය. නමුත් ඒ සියල්ලන්ම පරදා නිල්මිණීගේ සිත ඇදී ගියේ අජිත් වෙතය. ඒ ඔහු කඩවසම් තරුණයෙක් වූ නිසාම නොවේ, අජිත් තුළ වූ හොඳ ගතිගුණ නිසාය. අජිත් සහ නිල්මිණී බොහෝ කල් සිටම ආදරවන්තයෝ වූහ. පාසල් කාලයේ ආදරය කෙලවර වූයේ විවාහයෙනි.එකලනම් අජිත් ඉතාමත් හොඳ යහපත් ගුණගරුක පුද්ගලයෙක් විය. ඔහු නිල්මිණීට බෙහෙවින් ආදරය කළේය. නමුත් විවාහයෙන් පසුව මේ සියල්ල වෙනස්විය. අජිත් නිල්මිණීගේ දෑස් ඉදිරියේම හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් බවට පත්වන්නට විය. ඇත්තටම ඔහු වෙනස් වූවා නොවේ , එය ඔහුගේ සැබෑ ස්වරූපයයි. ආදරය කරන කාලය තුළදී ඔහු පෙන්වා ඇත්තේ වෙස්මුහුණක් පමණකි. එම වෙස්මුහුණ තවදුරටත් පැළඳගෙන සිටීමට ඔහුට අවශ්‍යතාවක් මෙන්ම වුවමනාවක්ද නොවීය. 
                                          අජිත් හා නිල්මිණි යුගදිවියට පිවිසෙන්නේ දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ ආශිර්වාද ඇතුව නොවේ. දෙපාර්ශවයේම වැඩිහිටියෝ මෙයට අකමැති වූ අතර ඒ සියලුම බාධා මැද්දේ ඔවුන් දෙදෙනා විවාහවිය. නමුත්  විවාහයෙන් පසුව දෙමව්පියන් තුළ තිබූ තරහව ටිකින් ටික ඉවත්ව ගියේය. පාසල් ගමන හමාර කළ නිල්මිණි සිටියේ සිය මවගේ වැඩපල වලට උදව් පදව් වෙමිනි. සරසවි වරම් ලැබීමට තරම් හොඳ ප්‍රතිපලයක් නොලැබීම එයට හේතුවයි. පාසල් දිවියට සමුදුන් පසු අජිත් ගමේ වූ ගල්පොරියේ වැඩට ගියේය. විවාහයෙන් පසු නිල්මිණී ගේ දොර වැඩකටයුතු බලා කියාගෙන ගෙදරට වී කාලය ගතකළ අතර අජිත් දිගටම ගල් පොරියේ රස්සාව කළේය. නමුත් වැඩිකල් නොගොස්ම අජිත් බීමට ඇබ්බැහි වීමත් සමඟම මේ සුන්දර කුරුළු කූඩුවට අවාසනාවේ අඳුරු සෙවනැළි  ගලා ආවේය. හැමදාම හවසට අජිත් ගෙදර ආවේ කටගොන්නක් බීගෙනය. හම්බකරනා හැම සතයක්ම පාහේ ඔහු බීම සඳහා වියදම් කළේය. එපමණක් නොව තමා බෙහෙවින්ම ආදරය කල නිල්මිණී සමඟ රණ්ඩු ඇල්ලීමට පමණක් නොව ඇයට අමානුෂික ලෙස පහරදීමට තරම්ද ඔහු කුරිරුවිය. ඔහු නිල්මිණීට වඩා අරක්කු බෝතලයට ආදරය කළේය.
                                         නමුත් නිල්මිණී මේ කරදර සියල්ලම ඉවසාගෙන සිටියේ තමාට ලැබෙන්නට සිටි දරුපැටියාගේ මුහුණ දුටු පසුවවත් අජිත් මේ නරක පුරුදු අත්හැර හොද මිනිසකු වෙවියයි යන  අපේක්ෂාවෙනි. සිය දරුවාගේ මුහුණ දුටු පසු වෙනස්වුනු බොහෝමයක් පිරිමින් ගැන නිල්මිණී පොත්වලින් කියවා තිබිණි.එමෙන්ම ටෙලිනාට්‍ය වල පමණක් නොව විවධ චිත්‍රපට වලද ඇය එවැනි දේ දැක තිබුණි. නමුත් අජිත් ඒ නිල්මිණී කියවා , අසා තිබූ පුරුෂයන් මෙන් නොවීය. දරුවා ලැබුණු පසුවද අජිත්ගේ ක්‍රියා කලාපයේ කිසිදු වෙනසක් සිදු නොවුණි. ඔහුට හැම දෙයකටම වඩා ලොකු වූයේ අරක්කු බෝතලයයි. අඩුගානේ සිය සිඟිති දියණියගේ ඕනෑ එපාකම් ගැනවත් ඔහු සොයා නොබැලුවේය.
                                          කල්යත්ම අජිත් තමා හම්බකරන හැම සතයක්ම බීම සඳහා නාස්ති කරන්නටවිය. ගෙදර කෑම බීම සඳහා අවශ්‍ය අඩුම කුඩුම වලටවත් මුදල් නිල්මිණී වෙත ලබා නොදුනේය. ඒ මදිවට හැමදාම රෑට බීගෙන විත් නිල්මිණීට නොසෑහෙන්න පහරදුන්නේය. නිල්මිණීටනම් දැන් මෙම ජීවිතය තිත්ත වී තිබුණි. සියදිවි හානිකරගැනීමට සිතුනු වාර ගණන අනන්තය. නමුත් තමන්ද නැතිවූ විට දරු පැටියාට යන කල දසාව  කුමක්ද? ඇය ජීවත් වූයේ තම සිඟිති දියණිය වෙනුවෙනි. ඇයට තිබූ ලොකුම ප්‍රශ්නය වන්නේ සිය දරුවාගේ කුස පුරවන්නේ කෙසේද යන්නයි. ඇය ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුනාය. අවසානයේ ඇය අල්ලපු ගමෙහි තිබූ ගාමන්ට් එකෙහි වැඩට යාමට තීරණය කළාය. නමුත් ඇයට තිබූ ලොකුම ගැටළුව  වූයේ ඇය වැඩට ගිය පසු දියණිය බලාගන්නට කෙනෙක් නොමැති වීමයි. දැන් නිල්මිණීගේ මව සහ පියා ඔවුන් සමඟ තරහක් නැත. දියණිය ඉපදීමත් සමඟම තිබුණු සුළු සළු නොහොඳ නොක්කාඩුද පහවී ගියේය.එමනිසා දියණිය සිය මව ගාව තබා යෑමට නිල්මිණී තීරණය කළාය. උදෑසන වැඩට යෑමට පිටත්වන ඇය දියණිය සිය මවට භාරදී යන අතර හවස වැඩ හැරී එනවිට නැවතත් ගෙදරට කැඳවාගෙන එන්නීය.ආත්තම්මාද සිය මිණිබිරියට බෙහෙවින් ආදරය කළ අතර ඇයව ඉතාම කරුණාවෙන් රැක බලාගත්තාය.
                                       තමා හා අජිත් අතර කෙතරම් ආරවුල් සිදු උනද ඒවා සිය දෙමව්පියන්ගෙන් වසන් කර තබා ගැනීමට නිල්මිණී වග බලාගත්තාය. “මොකද කෙල්ලේ උඹ ගාමන්ට් යන්න හිතුවේ? ඇයි අජිත් හම්බකරන ඒවා මදිද ජීවත්වෙන්න?”  “ දැන් ඉතින් දුවෙකුත් ඉන්නවනේ අම්මේ , දුවගේ අනාගතේ ගැනත් අපි හිතන්න ඕනනේ . අජිත්ගේ පඩියෙන් හැමදේම කරන්න බැහැනේ.”
                                       අජිත්ගේ ක්‍රියා කලාපය තව තවත් නරක අතට හැරෙන්නටවිය. අතිශයින්ම බීමට ඇබ්බැහි වූ ඔහුගේ බීම සඳහා  දවසට හම්බකරන මුදලද ප්‍රමාණවත් නොවීය. කෙමෙන් කෙමෙන් දියණියද වයසින් වැඩෙන්නට විය. ඇයගේ කණ විදීම සඳහා සුදුසු කාලයද එළඹිණි. “ අජිත්, දැන් දුවගේ කණ විදින්නත් වයස හරි.” “ඉතිං ඕක මහලොකු දෙයක්ද නිල්මිණී , මිඩ්වයිෆ් නෝනා ළඟට ගියානම් පැය බාගෙන් විදගෙන එන්න පුළුවන්නේ.” “ ඒක මං දන්නවා මනුස්සයෝ , කණ විදින ඒක නෙමෙයි ප්‍රශ්නේ.” “එහෙනම් මොකද්ද?” “කණ විද්දට පස්සේ ඉතිං කෙල්ලගේ කණ පාළුවට තියන්න පුලුවනෑ, ඒකිට අරුංගල් දෙකක් අරන් දෙන්න ඕනනේ කණට දාන්න.” “රත්තරං ඒවා ගන්න කොහේ තියන සල්ලිද බන්? දැනට ඔය ඉමිටේෂන් දෙකක් දාමු. පස්සේ සල්ලි තියන දවසක බැරිය ඉතිං රත්තරං අරුංගල් ජෝඩුවක් අරන් දෙන්න.” “තමුසේ ගාව කවදද ඉතිං සල්ලි තිබුණේ, කොහෙද ඉතිං හම්බකරන තුට්ටු දෙක බොන්නම මදිනේ.” යැයි නිල්මිණීට කියන්නට සිතුනද ඇය එම වදන් තම මුවින් පිට නොකිරීමට වග බලාගත්තේය.මන්දයත් තවත් අජිත් සමඟ රණ්ඩු කිරීමට හෝ ඔහුගේ දෑතේ හයිය බැලීමට අවශ්‍යතාවයක් ඇයට නොතිබූ නිසාය.



                       තවදුරටත් අජිත් සමඟ මේ ගැන කථා කිරීමෙන් පළක් නැත. යමක් ගැන කථා කර ගැනීමට ඔහු හොද සිහියෙන් සිටින අවස්ථාවක් උදා වන්නේද බොහෝම කලාතුරකිනි. දියණියට කෙසේ හෝ අරුංගල් දෙකක් අරන් දීම නිල්මිණීගේ අභිප්‍රාය විය.මාස කිහිපයක් එකදිගට නයිට් ඩියුටි කළ ඇය අරුංගල් මිලදීගැනීමට අවශ්‍ය මුදලින් සෑහෙන ප්‍රමාණයක් සොයාගැනීමට සමත්විය. කාලයක් තිස්සේ ඇය බොහෝ අමාරුවෙන් ඉතිරි කරගන්නා ලද මුදල් ප්‍රමාණයක්ද ඇය ළඟ විය.ඒවාද එකතුකොට දියණියට රන් තෝඩු යුවලක් මිලදීගැනීමට නිල්මිණී සමත්විය. ඇය නයිට් ඩියුටි කරන කාලය තුළ දියණිය අත්තම්මාගේ නිවසෙහි නවත්වා තබනු ලැබීය. කෙසේ වෙතත් එක දිගට මාස කිහිපයක් නිදිමැරීම හේතුවෙන් ඇය දැඩිලෙස රෝගාතුරවිය. හරි හැටි කෑමක් බීමක් පවා නොමැතිව මාස ගණනක් එකදිගට මහන්සිවීම නිසා නිල්මිණීගේ ශරීරය බෙහෙවින් දුර්වල වී තිබුණු අතර ඇයට දින කිහිපයක් රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගැනීමටද සිදුවිය.එමෙන්ම සතියක් හෝ දෙකක් රැකියාවට නොගොස් විවේක ගන්නා ලෙසටද වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබුණි.

                                      කාලය ගෙවී ගියේය. අජිත්ගේ බේබදුකම එන්න එන්නම උග්‍ර වන්නට විය.මේ නිසාම ඔහුගේ රැකියාව පවා අහිමිවිය. බීමට මුදල් නොමැති වූ ඔහු ගෙදර බඩුමුට්ටු පවා උකස් කරමින් මත්පැන් පානය කරන්නට විය. අවසානයේ නිල්මිණීට හොරෙන් ඇයගේ කණකර පවා උකස් කර මත්පැන් පානය කළේය.දිනක් වැඩනිමවී හවස ගෙදර එන අතරතුර නිල්මිණීට ගුණපාල හමුවිය. “නිල්මිණී නංගි, නිල්මිණී නංගි,” “ඇයි ගුණපාල අය්යේ?” ගුණපාල තම අතෙහි ගුලිකරගෙන තිබුණු දෙයක් නිල්මිණී දෙසට දිගු කළේය. “මේක නගාගෙ දුවගේ නේද?” “මොකද්ද අය්යේ?” ඇය වහාම කඩදාසි කොළයකින් ඔතා තිබුණු කුඩා දෙය විවර කර බලන්නටවිය. ඇයගේ දෑස් අදහාගැනීමටවත් නොහැකිවිය. එහි වූයේ ඇය සිය දියණියට අරන්දුන් අරුංගල් දෙකයි. “ අය්යේ, අයියට කොහෙන්ද මේක?” ඕක සිරිපාල මුදලාලිගේ කඩේ තිබුණේ නගා , මුදලාලිට කව්ද ඕක දීල රුපියල් පන්සීයක් ඉල්ලගෙන ගිහින්.” “අයිය මේක කීයටද ගත්තේ? ඉන්න මං අයියට සල්ලි දෙන්නම්.” “අනේ නෑ නෑ , දැන් සල්ලි එපා නගා. නගා ඕක තියාගන්නකෝ .පස්සේ තියන වෙලාවක කීයක්හරි ගන්න බැරිය.” සිදුවී ඇත්තේ කුමක්දැයි වටහාගැනීමට නිල්මිණීට වැඩිවෙලා ගතනොවුනි. ඇය ඒක හුස්මට නිවස බලා දිවගියේ සිරිපාල සොයාගෙනය.
                                       නිල්මිණීගේ ගෙදර අසල රැස්ව සිටි පිරිස අතරින් ගුණපාල ගේ ළඟටම කිට්ටු කර බැලුවේය. කිසිවෙකුගෙනුත් බාධාවක් නොතිබූ හෙයින් ඔහු ගේ ඇතුළට ඔලුව දැම්මේය.අජිත් ලේ විලක් මැද වැටී සිටි අතර ඔහුගේ ඇග පුරාම කැපුම් තුවාළ දක්නට ලැබුණි.පසෙකින් ලේ තැවරුණු ලොකු මන්නේ පිහියක්ද වැටී තිබෙනු දක්නට ලැබුණි.සියල්ල නඩු භාණ්ඩ ලෙස සලකුණු යොදා තිබුණු අතර ඒ අසළ පොලිස් නිලධාරින් කිහිප දෙනෙක්ම පරීක්ෂණ කටයුතු සිදුකරනු දක්නට ලැබුණි. මේ කිසිවක් නොදත් නිල්මිණීගේ පුංචි දියණිය පසෙකට වී මහා හයියෙන් හඬා වැළපෙනු දක්නට ලැබුණි. ඇය වැළපෙන්නේ සිය මව නැති සොවින්ද නැතහොත් පියා  නැති සොවින්දැයි සිතාගැනීමට නොහැකි වූ ගුණපාල දරුවාද වඩාගෙන ගෙදරින් එළියට ආවේය.
-නිමි-







Saturday, 7 June 2014

කණ්නාඩිය

"අඩෝ පැණියා , ඉක්මනට වරෙන් බන් ඔය මේකප් දැම්ම ඇති , ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා. " "හරි හරි බන් පින්නා, පොඩ්ඩක් හිටපන්කෝ , මං මේ කොන්ඩේ පීරගන්නකන්." "කොන්ඩේ පස්සේ පීරගන්න පුළුවන් යකෝ , දැන් වරෙන්කො උදේට කන්නත් ඕන." "කෑම වගේද යකෝ කොන්ඩේ , පොඩ්ඩක් හිටපන්කෝ කන එකනම් ලෙක්චර් එක ඉවරවෙලත් කරන්න පුළුවන්නේ." "රෙද්ද , බඩගින්නේ ලෙක්චර්ස් යන්න බෑ යකෝ." "මොන මගුලක්ද යකෝ තොට කන බනේමනේ උඹේ බඩේ හිගන්නෙක්වත් ඉන්නවද?" "බඩේ හිගන්නෝ ඉන්න ඕනද යකෝ උදේට කන්න? කොහෙද තොට ඉතිං කෙල්ලෙක්ට වැඩිය වෙලා යනවනේ ලෑස්තිවෙන්න. යකෝ ඔය ක්‍රීම් එක එක මූණේ අතුල්ලන්නේ  නැතුව ඔක්කොම කවලම් කරලා එකපාර මූණේ උලාගනින්කෝ. ඒක ලේසියිනෙ." "මොන මගුලක්ද යකෝ තොට පරක්කු වෙනවනම් පලයන් මං තනියම එන්නම්." "තෝ දැන්ද යකෝ කියන්නේ ඒක? මං මෙතන පැයක් විතර රස්තියාදු උනාට පස්සේ? කමක් නෑ දැන් ඉතිං ඔය ඉතුරු ක්‍රීම් ජාති තුන හතරත් උලාගෙනම වරෙන් . කෝකත් එකයි දැන් කන්න වේලාවක් නෑ." "හරි හරි පින්නා, දැන් යමන් ඒවා දැන් ගාන ඒවා නෙමෙයි බන් රෑට ගාන ක්‍රීම්." "කමක් නෑ ඒවත් ගාගෙනම වරෙන් දැන් කොහොමත් පරක්කුයිනේ." "අනේ මේ  #$%*&** යමන්." 



         කඩිමුඩියේ නුගේගොඩට දිවගිය අපි 138 බසයකට ගොඩ වැදුනෙමු. කරුමයකට මෙන් කවදාවත් නැතිව බස්රථයේ අසුනක් හිස්ව තිබූ බැවින් අපි එහි වාඩි උනෙමු. "උඹනම් මලම ඇණයක් පින්නෝ, බලපන් තෝ මට හරියට කොන්ඩේවත් පීරන්න දුන්නේ නැහැනේ." "අනේ උඹේ ඉලව් කොන්ඩේ , තෝ හින්ද මට අද නොකා නොබී තමයි ලෙක්චර්ස් යන්න වෙන්නේ." "එක වේලක් කෑවේ නෑ කියල මැරෙනවද යකෝ? ඒ වගේද බූරුවො කොන්ඩේ . ශිට් අද කෙල්ලෙක්වත් මගේ දිහා බලනෙකක් නෑ." "රෙද්ද තමා තෝ ඔය පැය ගානක් කොන්ඩේ පීරුව කියල තෝ දිහා කෙල්ලෝ බලන එකක්ය.ඔන්න කොන්ඩේ  පීරපු දවසටවත්  කෙල්ලේක් උඹ දිහා  බැලුවනම්  තව කමකුත් නෑ." "උඹ මගෙන් මුකුත් අහගන් එපා ඉතිං.කෙල්ලෝ බලන නිසා තමයි යකෝ මං මේ ලස්සනට එන්නේ. අනික ඉතිං අපිට කෙල්ලෙක් බලාගන්න කියල තින්නෙත් මේ බස් එක විතරයිනේ." "ඇයි යකෝ අර කැම්පස් එකේ ඉන්නේ ඕනතරම් කෙල්ලෝ . ගියාම බලාගනින්කෝ." "රෙද්දක් ඉන්නවා, අපේ කැම්පස් එකේ කොහෙද බන් ලස්සන කෙල්ලෝ. ඉන්න එකා දෙන්නත් ගොඩ ගිහින්නේ එන්නේ කැම්පස් එනකොට." "අඩේ ඒකනම් ඇත්ත තමයි බන් දැන් කාලේ ශිෂ්‍යත්වේ කරන කෙල්ලෙක් ගත්තත් එකිටත් කොල්ලෙක් ඉන්නවා." "ඔව් බන් පින්නා,දැන් තමා බන්  හිතෙන්නේ අර ඉන්දියාවේ කරන වැඩේ ඇති වැරද්දක් නෑ කියල." "ඒ මොකද්ද බන්?" "ඇයි බන් එහේ කෙල්ලෙක් ඉපදුනු ගමන්ම කොල්ලෝ ඒකිව බුක් කරලා තියනවනේ. පහුවෙනකොට අල්ලගන්න බැරිනිසා තමයි ඒ." "අඩේ ඒකනම් ඇත්ත තමයි නේද? තව ටික දවසක් යනකොට අපිටත් ඕක තමයි ඉතිං කරන්න වෙන්නේ." "ඔව් බන් , අඩේ බලපන් ඉතිං අද බස් එකේ ලස්සන කෙල්ලෙක්වත් නැහැනේ බල බල යන්න. අපරාදේ මං කලින් නැගිටලා ලැස්ති උනේ." "හොද වැඩේ තොට මට උදේට කන්න නැති කරාට." "අනේ බන්, මේ....... මං ටිකක් නිදියගන්නවා කැම්පස් එක ගාවදි ඇහැරවපන් පින්නා." "හා හා නිදියපන් ලස්සන කෙල්ලෝ හිටිය කියලත් ඉතිං තෝ දිහා බලන එකක්ය." "අනේ මේ පලයන් බන් යන්න මගෙන් මුකුත් අහන්නේ නැතුව."
                                         වැඩි වේලාවක් යන්නට කලින්ම පැණියාට හොදටම නින්ද ගියේය. කොහොමත් ඉතිං මේ ඉලව් පාරේ තියන ට්‍රැෆික් එකේ හැටියටනම් අපිට කැම්පස් එකට යන්න තව පැයක්වත් යාවි.ඒ වෙලාවේ ඉතිං ඌට හොඳ නින්දක් දාන්න පුළුවන්.බස් රථයේ සෙනග පිරී සිටි අතර නිදාගැනීමට අවශ්‍යතාවයක් නොවූ නිසාවෙන් මා මදක් වටපිට බැලුවෙමි. අප අසුන්ගත්තේ රියදුරු අසුනේ සිට කෙලින්ම පිටිපසින් වූ තුන්වැනි අසුනහිය. එම නිසා මට ඉදිරිපස වීදුරුවෙන් ඉදිරිය බලාගත් හැකි වූ අතර එයින් දිස් වූයේ නිමක් කොනක් නැති වාහන පෝලිමක් පමණි. ඉන්පසු මා දෙනෙත් යොමු වූයේ රියදුරු මහතාට පිටුපස බැලීම සඳහා බසයේ ඉදිරිපස සවිකර තිබූ විශාල කන්නාඩිය වෙතයි. පුදුමයකි ඒ තුළින් මා දුටුවේ රූමත් යුවතියකගේ චායාවකි. මම මදක් ඇය දෙස බලා සිටියෙමි. ඇය සැබවින්ම සුන්දර යුවතියක් වූවාය. ඇයට තිබුණේ දිගටි සුදු මුහුණකි. ඒ තුළ වූ දුඹුරු පැහැගත් පුංචි ඇස් දෙක ඇගේ මුහුණට එක් කළේ අමුතුම කාන්තියකි. ඇය ඇසිපිය හෙලන රිද්මය දෙස මම මද වේලාවක් බලා සිටියෙමි. නිල්දෙනෙතේ හා මද සිනහවේ වූ අලංකාරය දර්පණයෙන් නෙත ඉවතට ගැනීමට මට සිත් නොදුන්නාය. කන්නාඩියෙන් ඇස් ඉවතට ගත මා වටපිට බැලුවේ ඇය ඉන්නේ කොහිදැයි සොයාගැනීමටය. ඇය රියදුරු අසුන පිටුපස තිබූ පළමු අසුනේ වාඩි වී සිටිබව මට දැකගතහැකිවිය. කෙලින්ම ඇය දෙස බැලූ කල ඇගේ මුහුණ නොපෙනෙන නිසා මම නැවත වරක් කන්නාඩියට නෙත් යොමු කරගත්තෙමි.
                                           මම ඇය දෙස බොහෝ වේලාවක් බලා සිටියෙමි. ඇය ජනේලයෙන් ඉවත බලා සිටින බවක් මට දැකගත හැකිවිය. ඇයගේ දෙනෙත් එකවරම දර්පණය වෙත යොමුවෙනු මම දුටුවෙමි. ආලෝක ප්‍රතිවර්තතා නියමයට අනුව දර්පණය තුළින් මට ඇගේ දෑස දිස්වන්නේනම් නිසැකවම ඇයටද මගේ දෑස දිස්විය යුතුය. මම වහා දර්පණයෙන් නෙත ඉවතට ගෙන වෙනතක් බලා ගත්තෙමි. නමුත් ඇයගේ දෙනෙත් වෙනතකට යොමුවනතෙක් සිට නැවත දර්පණයෙන් ඇය දෙස බැලුවෙමි. නැවතත් ඇය දර්පණය දෙස බැලුවාය. මම වහා වෙනතක් බලා ගත්තෙමි. මෙසේ කිහිපවරක්ම සිදුවන්නට විය. විටෙක මා දර්පණය දෙස බලන මොහොතේම ඇයද ඒ දෙස බැලුවාය. දෙදෙනාම ලැජ්ජාවෙන් ඉවත බලාගත්තෙමු. දැන් ඉතිං ඇයද මා දෙස බලනා වග මට මනාව පැහැදිලිය. මම මේ සෙල්ලම දිගටම කරගෙන ගියෙමි. එය සැබවින්ම ඉතා විනෝදජනක විය. මං ඈ දෙස බලන් සිටින අයුරින්ම ඇයද මාගේ දෙස බලන්නට විය. විටෙක ඇයත් මාත් දෙදෙනාම එකවර බලාගෙන සිටියෙමු. ශරීරයේ ඇස් වලින් පමණක් සිදුවූ මෙම සන්නිවේදනය ඉතාමත් අපූරු එකක් විය. කෙසේ හෝ දන්නේමනැතිව බසය කැම්පස් එක ළඟටම ළඟාවී තිබුණි. පැණියාද ඇහැරවගත් මම බසයෙන් බැසගත්තෙමි.




                                          බසයෙන් බැස යන අතරමග බසයේදී සිදු වූ සියල්ලම මම පැණියාට විස්තර කළෙමි. "අඩෝ පින්නා උඹ කියන්නේ අර ඩ්‍රයිවර් සීට් එකට පිටිපස්සේ සීට් එකේ හිටිය කෙල්ල නේද? අර සුදුපාට බ්ලවුස් එකක් ඇදගෙන හිටියේ." "ඔව් ඔව් බන් ඒකි තමයි උඹ දන්නවද ඒකිව?"  එය ඇසූ පැණියා මහා හඩින් සිනාසෙන්නට විය. "මොකද හාල්පාරුවෝ තෝ හිනාවෙන්නේ? මං දැන් තොට හිනාවෙන්න දෙයක් කිව්වද?" "ඇයි බන් හරකෝ තෝ දැකල නැද්ද? ඒ හිටියේ අපේ කැම්පස් එකේ අලුත් ඉන්ස්ට්‍රක්ටර් මිස් කෙනෙක්නෙ." "මොකක්??   *&^%$##** මල හත්තිලව්වයි." "හා හා  දැන් ඉතිං කැම්පස් එකේදී ඒ මිස්ව හම්බුනාම මූණ වහගෙන පලයන්."




Wednesday, 14 May 2014

මිරිඟුව

වෙසක් දාට පායන හඳ
වෙනදට වඩා හරි එළියයි
ඒ එළියෙන් කඩුපුල් මල්
රන් පැළදුම් සේ බබළයි

රන් පාටයි , මුදු සුවඳයි
මද පවනේ මිහිර මවයි
කඩුපුල්මල් සුවඳ හමන
රන් පාට රන් දෙව්ලියක්
සිත් අහසේ දඟ කරයි  

නිල්මිණි නෙතු යුගට  ඇගේ
රන් සඳ කැළුමන් පැරදේ
දිමුතු දසන් පිරි සිනහව
සලිත කරයි හද මාගේ

සුදු මුහුණයි ඉඟි බිඟියයි
මගේ දෑස වශී කරයි
මෙතරම් ලස්සන කිසිදින
කිසි මලෙකත් නැහැ දුටුවේ

තාලෙට සැලෙනා ඇහිපිය
මගේ හිතට කථා කියයි
බලා හිදින්නම් ඔබ දෙස
කල්ප ගණන් වුවද ඉතිං

ඔය බැල්මේ එළිය දිගේ
මගේ හිත භාවනා කරයි
දකිනා මොහොතක් පාසා
පියවි ලොවින් බැහැරට යයි

ඔය දෑතින් අල්ලාගෙන
සරසවියේ පිය නගන්න
නිල්නේතු දෙස බලන් ඉන්න
හැමදාමත් ආසයි මම

නෙත් කැළුමන් විහිදා ඔබ
මගේ වෙලා හිනැහෙන හැටි
හැමදාමත් මම දකිනවා
මගේම වූ සිහින ලොවෙදි

පියවි ලොවේ නාවත් නුඹ
මාත් එක්ක පිය නගන්න
දිවි මග නුඹ එක්ක යන්න
ආසාවෙන් හිටියේ මම

දෛවය කළ සරදමකින්
නුඹ නාවත් මාත් එක්ක
මතු ඉපදෙන හැම බවයක
හිමි වෙන්නට පතනවා නුඹ






Sunday, 11 May 2014

අම්මා........

ජීවිතයට බොහෝ දෙනා ඒවි
බොහෝ දෙනා යාවි 
නමුත් එදා මෙදා තුර ......
නොවෙනස්ව නොවඩුව ලැබුණු
එකම ආදරය
ඔබෙන් ලද ආදරයයි
මා දයාඹර අම්මේ............
මේ පදවැල් ඔබ වෙනුවෙනි.........





අඳුරු මංපෙත් විවර කරමින්
පාර කිව මන හැම දිනේ......
දුගුණ ඇත්නම් එහැම දුරලා 
සුගුණ මතුකළ මැන මගේ.....

උපදින්නටත් පෙර සිටන් මා කුස දරාගෙන ආදරෙන්
උතුම් කරුණා සිසිළ දුන්නා නුඹගේ කුස තුළ සිටියදිත් ....
කවා පොවමින් සවිය ඇත්තෙක් කළේ අපමණ සෙනෙහසින්
එහෙත් ඔබ මට ඕවා දුන්නේ උතුම් මිනිසෙක් වන ලෙසින්.....

කුසට අහරක් නැතත් ඔබහට 
රසින් මගේ කුස පුරවමින් ....
එදා නුඹ නිති කඳුළු සැලුවේ
මගේ මුවට සිනහව දෙමින්..... 

උතුම් කරුණා මෙත් උපේක්ඛා 
මාහට පැළදු අනුහසින්...
නිවන් දක්නට තවත් පින් කීම
බුදු බව ලැබේවා මිදෙමින් දුකින්....

නොනිමි සසරේ රුදුරු කතරේ
මා සැරිසරනා හැම භවේ....
මගේ මව වී මග කියනු මැන
නිවන් දක්නා තෙක් ලොවේ...











Sunday, 20 April 2014

මලක අරුම



විසිරි අතු අග - හිරුට නොපෙනෙන 
සැඟව සුපිපුණු - මලක් වේනම් 
සිනිදු මල දැක - කලල් බිඟු කැල
රොන් උරන්නට - පොර බඳියි නම් 

තටුද ගැලවී - බලය වියැකුණු 
දුබල බඹරෙක් - මල දකියිනම් 
ඉතිං පල කීම - එයට පෙම් බැඳ
රොන් උරනු කෙලෙසද?
කිසිදා ලංවිය නොහැකි මලකින් 

දුබල බඹරුන් - මල දකිනමුත් 
එමල සිඹිනට - නොහැක කිසිදා
පොර බදින්නේ - කෙලෙසින්ද ඔහු
සවිය බල ඇති - සවිමත් බිඟුන් හා 

සවිය ඇත්තා - දිනයි සැමදා
සිපගනියි මල - රොන් ගනියි ඔහු
එම මලින් පසු - තවත් මලකට
සියළු මල් හිමිවේය ඔහු හට

මල් නෙළන්නට - රොන් උරන්නට 
නොහැක කිසිදා - දුබල බඹරට

ගසින් ගිලිහී - එමල වැටුනත්
දුබල බඹරෙකුගෙ - දෙපා මුලටම 
කැමති වේවිද - එමල කිසිදා 
පුදන්නට රොන් - දුබල බිඟු හට ??????




Tuesday, 8 April 2014

ලෝක කුසලානය හා මාලිංග

                       
වසර දහඅටකට පසුව යළිත් වරක් ලෝක කුසලානයක් සියරට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.වසර ගණනාවක් තිස්සේම ප්‍රතිවාදීන් සලිත කරවූ ලොව අංක එකේ ක්‍රිකට් කණ්ඩායමක් ලෙස තම ස්ථානය රැකගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිව් වතාවක්ම ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබුවද කුමක් හෝ අවාසනාවක් නිසා එම කුසළාන හතරම අප අතින් ගිලිහී ගියේය.මෙවරත් පස්වන වතාවටත් ලෝක කුසළාන අවසන් තරගයකට සුදුසුකම් ලැබූ අප කණ්ඩායම මෙවරනම් නිසැකවම කුසලානය මව්බිම කරා රැගෙන එන බව අප සැම දෙනාම තරයේ විශ්වාස කළෝය.ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන් නොයෙකුත් කථා කියද්දී, ඉන්දියානු තුට්ටු දෙකේ විචාරකයෝ වෙනදා මෙන්ම අසීමිත ලෙස ඉන්දියාවට ආවඩද්දී , ඒ සියළුම දුර්මත පරදා අප සිංහ පැටවුන් ලෝක ක්‍රිකට් කිරුළ තමන් සතු කරගත්තේ රසල් ආනොල්ඩ් නම් වූ නිර්භය විස්තර විචාරකයාගේ අනාවැකි පමණක් සඵල කරමිනි.
                         ගාල්ල රත්ගම ග්‍රාමයේ ඉපිද අහම්බෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ලසිත් මාලිංග අහඹුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයටද පත්වී ලෝක කුසලානයක් ඉසිලූ දෙවන ශ්‍රී ලාංකික නායකයා බවට පත්වීමට තරම් භාග්‍යවන්ත විය.පසුගිය වකවානුව තුළ මාලිංග ගැන බොහෝ දෙනා විවිධ කථා කීහ.ඔහු මුදල් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන්නෙක් බව ප්‍රකාශ කළහ.නමුත් එම සියළුම දෙනාම ලබාදිය හැකි හොදම පිළිතුර අද ඔහු ලබා දී ඇත.ඒ තම නායකත්වය යටතේ ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා මව් තුරුලට ගෙනවිත් දෙමිනි.ජාතියේ ක්‍රිකට් සුරකීමේ මහා වගකීම අතටගත් ස්වර්ණවාහිනී Live @ 8 එකදිගට සතියක් මෙන් ඔහුට මඩගසනු අපි දුටුවෙමු.නමුත් ඔවුන්ද අද ඒ කිසිවක් සිදු නොවූ පරිද්දෙන් ඔහුට සුභපතන්නේ නූතන මාධ්‍ය සදාචාරය මනාව පිළිඹිඹු කරමිනි.IPL තරගාවලියෙන් මාලිංගගේ පන්දු යැවීමේ රටාව ඉන්දියානුවන් විසින් ග්‍රහණය කරගෙන ඇතැයි බොහෝ විස්තර විචාරකයෝ පැවසූහ.එම ප්‍රකාශය සනාථ කර ඉන්දියානු පිතිකරුවෝ පැවසුවේ මාලිංග තවදුරටත් තමන්ට අභියෝගයක් නොවන බවය.මේ සියල්ලම සත්‍ය අසත්‍යතාවය ලෝක කුසළාන අවසන් මහා තරගයේ අවසන්   පන්දුවාර හතර තුළදී අපට මනාව දැකගත හැකිවිය.සචින් ටෙන්ඩුල්කාගෙන් පසු ඉන්දියාවේ බිහි වූ සුපිරිම පිතිකරුවා වන කෝලිට පමණක් නොව, ලොව සිටින හොඳම ඉනිම් අවසන් කරන්නා ලෙස ඉන්දියානු විචාරකයෝ හඳුන්වාදෙනු ලැබූ මහේන්ද්‍ර සින්ග් දෝනිටද එම පන්දුවාර හතර තුළ කිසිවක් කර කියාගත නොහැකිව අසරණ වී සිටිනු අපි දුටුවෙමු.අවසන් පන්දුවාර හතරේ ලකුණු 19 පමණක් ලබාගැනීමට තරම් ඔවුන් අසරණ වූහ.ලෝකයේ සිටින විශිෂ්ටම පිතිකරණ බලඇණිය කුලේගේ හා මාලිගේ පන්දු යැවීම හමුවේ අසරණ වූයේ එසේය.තරගය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වූ කෝලිද කියා සිටියේ එවැනි ආකාරයේ පන්දු යැවීමක් හමුවේ තමාට කළහැකි දෙයක් නොතිබූ බවයි.

             සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තම ක්‍රිකට් ජීවිතය ඇරඹු ලසිත් මාලිංග අද සිටින තත්වයට ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ගාල්ල මහින්ද ව්ද්‍යාලයේ අචාර්ය වරුන් වන කීර්ති ධර්මප්‍රිය හා කෝලිත ද සිල්වා ගුරු පියාණන් වරුන්ටය.සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී මාලිංගගේ පන්දු යැවීම දුටු කීර්ති ගුරු පියාණන් ලෙදර් පන්දු ක්‍රීඩා කිරීම සඳහා ඔහුට ගාල්ල මහින්ද විද්‍යාලයට ආරාධනා කළේය.එවකට අධ්‍යාපනය ලබමින් සිටි ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් ඉවත් වූ ඔහු ගාල්ල මහින්ද  විද්‍යාලයට ඇතුළත් වූයේ ක්‍රිකට් ක්‍රීඩාව හැදෑරීමේ මූලික අරමුණෙනි.එතැන්සිට මාලිංගගේ වගකීම භාරගත් මහින්දය ඔහු මහින්දයෙන් පිටතට යවන්නේ එවකට ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නා වශයෙනි.මහින්ද විද්‍යාලය වෙනුවෙන් රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයින්ගේ සටන තුන්වරක්ම නියෝජනය කළ ඔහු 2001 වසරේ හොඳම පන්දු යවන්නා බවටද පත්විය. මාගේ දිවිගමන වෙනස් කළ හැරවුම් ලක්‍ෂය මිහිඳු මාතාව වූවා සේම මාලිංගගේ දිවිය වෙනස් කළ ආශිර්වාදයද ගාල්ල මහින්දය වන්නටම ඇත.මහින්දයේ කළු රන්වන් වර්ණ පැළදීමට මා බෙහෙවින් ආශා කළා මෙන්ම එම වර්ණ පැළදීමට ඔහුද බෙහෙවින් ආශා කරන්නට ඇත.

                                             මෙතෙක් කල් ලංකාව අවසන් මහා තරග වලට සුදුසුකම් ලැබූ ලෝක කුසළාන හතරෙදීත්, මෙවර ලෝක කුසලානයෙදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම ශක්තිමත් අංශය වූයේ පන්දු යැවීමේ අංශය යැයි බොහෝ විචාරකයෝ පවසති. එදා මෙදා තුළ එම බලඇණියේ නැතුවම බැරි ප්‍රභලතම අවිය වූයේ මාලිංගයි. මා දකින පරිදිනම් මාලිංග හා සමකල හැකි වේගපන්දු යවන්නකු වර්තමාන ක්‍රිකට් ලෝකය තුළ පහල වී නොමැත.එවැනි වූ අසමසම ක්‍රීඩකයෙක් බිහි කිරීමට තරම් මිහිඳු මාතාවන් වාසනාවන්ත වීය.එම මිහිඳු මව් තුරුළේ හැදී වැඩුණු අපිද ඔහු වෙනුවෙන්  නිහතමානීව ආඩම්බර වෙමු.මාලිංග තුළ අප සැමදා දකින නිහතමානී කමට , අවංක බවට , අව්‍යාජ බවට බොහෝ දෙනා ගරු කරති.එවැනි ක්‍රීඩකයන් බිහි කිරීම වෙනුවෙන් මිහිඳුවන් ලෙස අපිද නිරහංකාරව සතුටුවෙමු.ලොව විශිෂ්ට ක්‍රීඩකයෝ බිහිවන්නේ කලාතුරකිනි, නායකයන් බිහිවන්නේ ඊටත් වඩා කලාතුරකිනි, නමුත් ලෝක කුසලානයක් මව්බිමට හිමිකරදුන් නායකයින් සිටිනුයේ දෙදෙනෙකු පමණකි. ඉන් එක්  අයෙක් මිහිඳුවෙකු වීම පිළිබඳව අප තුළ ඇත්තේ කියාගතනොහැකි තරම් වූ සතුටකි.ඔහු පිළිබඳව අපි නිරහංකාරව සතුටු වෙමු, ආඩම්බර වෙමු.එම සතුට , ආඩම්බරය මුළු ජීවිතය පුරාවටම අපව ඉහළින් ඔසවාතබනු ඇත.

ලෝ පතළ කීර්තියෙනි වේ ජයම දින දිනා
මේ මහින්ද ශාස්ත්‍රශාලා කීර්තියෙනි වැජඹේවා...