Monday, 9 February 2015

හමුවීම

                                               ඇය මා හට කෙතරම් ළං වුවත්   තාමත්  මට  ආදරේ  යැයි  කියා නැත. මමද  ඇයගෙන්  ඒ පිළිබඳව  විමසීමට  බියෙන් පසුවෙමි. මන්දයත්  කෙලෙසින්  හෝ ඇය මට අකමැති  වුවහොත් ඇයගේ  ආදරය පමණත් නොව මිතුරුකමද  මට අහිමිවන නිසාවෙනි. කැමැත්ත  අසා අකමැති වුවහොත්  දැන් කරන ලෙස ඇය සමඟ නිදහසේ  කථා කිරීමට message කිරීමට මට නොහැකිවනු ඇත. ඇය ඒ සඳහා බාධා පනවනු නොවනුමානය. කෙසේ වෙතත් මා නිතරම ඇය  සමඟ ෆොන්  එකෙන් message හුවමාරු කරගන්නා අතරම හැකි තරම් ඇයට  සමීපව  සිටීමට උත්සාහ කරන්නෙමි.


                                  ඇය  ප්‍රථමයෙන්ම  මාගේ නෙත ගැටුනේ විශ්ව විද්‍යාල  ප්‍රවේශය  සඳහා සුදුසුකම් ලැබ  නායකත්ව පුහුණු  කඳවුරට  සහභාගී වූ අවස්ථාවේදීය. එහිදී  ඇය  මා අයත් වූ කාණ්ඩයේම සාමාජිකාවක් වුවාය. සති දෙකක් වැනි ඉතා කෙටි කාලයකදී  වුවද  මා ඇය  ගැන බොහෝ  දේවල්  උගත්තෙමි , තේරුම්ගත්තෙමි. ඇය දුටු මුල්ම දිනයේ සිටම ඇය මාගේ මිතුරියක් කර ගත්තද ඇයට පෙම්වතෙක් සිටීදෝ හෝ නොසිටීදෝයි යන සැකය මාගේ සිතට විටින් විට වධ දෙන්නට විය. කිහිප වරක්ම වටින් ගොඩින් ඒ ගැන අසා සිටියද හරි හැටි ස්ථීරකොට ඒ ගැන දැනගැනීමට මට නොහැකිවිය. දිනක් නායකත්ව පුහුණු කඳවුරේ ක්‍රියාකාරකමක්  අතරතුරදී  ඇය කාට හෝ message එකක් යවනු මම දුටුවෙමි. "කාටද සඳුනි මේ පණ දාගෙන message කොටන්නේ? boyfriend ට නේද?" මම සිනාසෙමින් ඇසුවෙමි. "පිස්සුද අනේ.., මේ  යාළුවෙක්ට .." ඇයද  සිනාසෙමින් පිළිතුරු දුන්නාය. "හරි හරි ඉතිං  boyfriend කියන්නෙත් එක්තරා විදියකට ගත්තම යාළුවෙක් තමයිනේ." මා නැවතත් ප්‍රකාශ කලෙමි. "පිස්සුද අනේ.. මට එහෙම කෙනෙක් නෑ.. මන් තාම තනිකඩයිනේ .." ඇය කිවේ මුවගේ සිනහවක්ද රඳවාගනිමිනි. 
                                            ඇති යාන්තම්. දින ගණනක් තිස්සේ දැන ගැනීමට උත්සාහ කල දෙය ස්ථීරවම දැන ගැනීමට හැකිවීම ගැන මම සතුටු වුනෙමි. එයට ලැබුණු පිළිතුරද  මා අපේක්ෂා කල පිළිතුරම  වූ නිසා මා හට දැනුනු සතුට දෙගුණ තෙගුණ වන්නට විය. එතැන් පටන් ඇය කෙරෙහි හැකිතාක් ළං වීමට මම උත්සාහ දැරුවෙමි. කෙමෙන් කෙමෙන් ඇය මාගේ සමීපතම මිතුරියක් බවට පත්වූවාය. නායකත්ව පුහුණු කඳවුර
තුළ ගතකළ කාලය තුළදී ඇය කෙරේ බොහෝසෙයින්  ළංවීමට  මා හට හැකියාව ලැබුණි. කාලයාගේ  ඇවෑමෙන් පුහුණු කඳවුරේ ගෙවන්නට ලැබුණු සති දෙකද නිමාවන්නට විය. කඳවුරේ මිතුරන් හැර දමා ආපසු ගෙදර ඒමට සිදුවූ දිනය මා ජීවිතේ වැඩියෙන්ම දුක්වූ දින වලින් එකක් විය. එයට හේතුව වුයේ කඳවුර තුළ ගතකළ දෙසතියට දමා යා නොහැකි තරම් සුන්දර මිතුරන් පිරිසක් ලැබීම පමණක්ම නොවේ ඒ හැමදෙනේක්ටම වඩා මාහට ලංවූ සඳුනිද  යලිත් හමු නොවීමයි. යළි කිසිම දිනෙකත් මට මේ සති දෙක තුළ තරම් ඇය සමඟ සමීපව ගත කිරීමට අවකාශයක් නොලැබී යාවි. උදේ හවස දුටු ඇයගේ සුන්දර මුහුණ යළිත් සෑහෙන කලක් යනතුර දක්නට නොහැකිවේවි. කෙසේ වෙතත් ජීවිතයේ කෙදිනක හෝ කවරකු හෝ අප නෙත ගැටුනද, අප හා සමීප වුවද , කෙදිනක හෝ ඔහු හෝ ඇයගෙන් වෙන්වීමට සිදුවීම ලෝක ධර්මතාවයයි. ගතින් ඇය දමා යාමට සිදු වුවද සිතින්නම් මම සැමදා  ඇය ළඟමය.
                                       නායකත්ව පුහුණුව අවසන් වුවද මා සුපුරුදු ලෙසම ඇය සමඟ දුරකථනයෙන් පණිවුඩ හුවමාරු කරගත්තෙමි. මාහට අවශ්‍ය වුයේ කඳවුරේදී මෙන්ම ඇයට හැකිතාක් සමීපව සිටීමටය. මාගේ ලොකුම බලාපොරොත්තුව වුයේ ඇය තේරී පත්වන විශ්වවිද්‍යාලයටම මටත් ඇතුළත් වීමට හැකියාව ලැබේවා යන්නය. එවිට නැවතත් කඳවුරේදී මෙන්ම උදේ හවස ඇයව දැක බලා ගැනීමට වරම් ලැබේවි. ඇයට තව තවත් සමීප වීමට අවස්තාව උදා වේවි.  කාලයක් තිස්සේ ඇය සමඟ ඉතාමත් සමීපයෙන් ගනුදෙනු කල නිසාදෝ , ඇය මට කැමතිය යන හැගීම මගේ සිත තුළ තදින්ම මුල්බැසගෙන තිබුණි. නමුත් ඇයගෙන් කැමැත්ත විමසීමට මගේ සිත නිතරම පසුබට වුවේය.
                                        කෙසේ වෙතත් අප දෙදෙනාටම විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කැඳවුම් ලිපි ලැබුණි. සතුට යනු අප දෙදෙනාටම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවකාශය ලැබීමයි. දුක යනු ඇය තේරී පත්ව ඇත්තේ මා තේරී පත්ව ඇති පීඨයට නොව වෙනත් පීතයකට වීමයි. එකම පීඨයට ඇතුළත් වීමට වරම් නොලැබුණද එකම විශ්වවිද්‍යාලයට හෝ ඇතුළත් වීමට හැකියාව ලැබීම පිළිබඳව මා සතුටු වුනෙමි."බලන්නකෝ සඳුනි අපි දෙන්නම එකම ෆැකල්ටි එකට සිලෙක්ට් උනේ නැහැනේ. නැත්නම් මට හැමදාම ඔයාව දකින්න තිබුණා." "ඉතිං සුපුන්, අපි දෙන්නම එකම කැම්පස් එකේනේ. අපිට නිතර නිතර හම්බවෙන්න පුළුවන්වෙයි." 
                                  අපටත් රහසේ ගෙවී ගිය කාලය   රැග් සීසන් එක නිමාවට පත්කළ අතර  ක්‍රම ක්‍රමයෙන් අපි විශ්වවිද්‍යාලය තුළ පිළිගත් සිසුන් සමූහයක් දක්වා  ඔසවා තැබුවේය. නමුත් ඒ දක්වාත් සඳුනි මාගේ මිතුරියක් පමණක්ම වුවාය. මට තවමත් ඇයගෙන් කැමැත්ත විමසීමට තරම් නිර්භීත සිතක් පහළ නොවුනේද? නැතහොත් ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොලබුනේද? එසේත් නැත්නම් ඇය මාගෙන් කැමැත්ත විමසන තුරු මා බලා සිටියාද යන්න මටද  නිශ්චිතවම තෝරාගැනීමට  නොහැකිය. කෙසේ වෙතත් ඇය අයත් වූ පීඨයේම ළමයෙක් ඇය වෙත ළං වේදෝයි යන භිය මාගේ සිත තුළ විය. එමනිසා මම ඇය කෙරෙහි හැකිතරම් සමීප වීමට උත්සාහ කළෙමි. ඇයට කෙටි පණිවුඩ යැවීම දිගටම සිදු කල අතර හැකි සෑම වෙලාවටම දුරකතනයෙන් අමතන්නද අමතක නොකළේය.
                          කාටත් හොරා කාලය පැන  යද්දී මාගේ සිතද තැනින් තැනට දුවන්නට විය. සඳුනි කෙරෙහි දක්වන ලද කැමැත්ත සම්පූර්ණයෙන්ම පහ නොවුනද  සමහර කාල වකවානු වලදී විවිධ ගැහැණු ළමුන් කෙරෙහි මාගේ සිත ඇදී යන්නට විය. නමුත් බොහෝවිට ඒවා සිතුවිලිම පමණක් විය. එසේ මාගේ සිත්ගිය ඇතැම් ගැහැණු ළමුන් වෙනත් පිරිමි ළමුන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගත්තේද මා බලා සිටියදීමය. එවැනි අවස්ථා වලදී සඳුනි සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාවයේ සමීපබව යම්තාක් දුරකට අඩු වුවද  එවැනි සිතුවිලි තුරන් වී ගිය වහාම වෙනදාටත් වැඩියෙන් ඇයට ළංවීම සිදුවිය.
                               කෙසේ වෙතත් ගතවූ මාස කිහිපය තුළ මා අන් කවරදාකටත් වඩා  ඇය වෙත ළංවී තිබුණි. එයටත් වඩා ඇයද මා වෙත බොහෝ සෙයින් ළංවී ඇතිබව මාහට දැනෙන්නට විය. ඇයගෙන් කැමැත්ත විමසීමට මෙයනම් හොඳම වේලාවයැයි මට සිතුණි. නමුත් හැමදාකම මෙන් ඒ සඳහා  මාගේ සිතේ  වූ බිය නිසාදෝ   එම කාර්යයද මාගේ සිත  දිනෙන් දින පස්සට දමන්නට විය. නමුත් ඇය මා හා කතා කල විලාසයෙන් මා හා පැවසූ  දේ වලින් ඇය මට කැමැත්තෙන් පසුවන බව මට නිශ්චිතවම සනාථ කරගතහැකිවිය. වැඩිකල් නොගොස්ම ඇයම මාගෙන් කැමැත්ත විමසාවි යන හැගීම මාගේ සිත තුළ රෝපණය වන්නටවිය. මා කෙතරම් බොළඳද? කෙදිනකවත් ගැහැනියක් ප්‍රථමයෙන් පිරිමියකුගෙන් කැමැත්ත විමසාවිද? එය සිහිනයකින්වත් සිදුවිය නොහැක්කකි. නමුත් ඒ සිහිනයට මා බෙහෙවින් ආශා කළේය. එම සිහිනය තුළම ජීවත්වීමට මාගේ සිත ප්‍රිය කළේය.
                        තනියම ඇය හමුවී කථා කිරීමට මා බොහොමත්ම ආශාවෙන් පසුවුනෙමි. මම කිහිප විටක්ම වටින් ගොඩින් ඇයගෙන් මේ ගැන විමසා සිටියෙමි. නමුත් එය සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. නොඑසේනම් ඇයට එම වටින් ගොඩින් කියූ දෙය නොතේරුණා විය හැකිය. කෙසේවෙතත් ඇය හදිසියේම වගේ මා හමුවීමට අවශ්‍ය බව දන්වා සිටියාය. එය ඇසූ මගේ සිත සතුටින් පිරී ඉතිරී ගියේය. මෙයනම් මා මහත් ආශාවෙන් බලා සිටි මොහොතකි. එනම් මා සිහිනයකින් පමණක් අපේක්ෂා කරන ලද්දක් යථාර්තයක් බවට පත්වීමට යන සෙයකි. ඇයට මා හමුවීමට වෙනත් කිසිදු අවශ්‍යතාවයක් නොමැත. සඳුනි හට මා හමුවීමට අවශ්‍ය වී ඇත්තේ කුමක් නිසාද? නිසැකවම මාගෙන් කැමැත්ත විමසීමට විය යුතුය. ඇත්තටම මට සඳුනිගෙන් ලැබුණු කෙටි පණිවුඩය විශ්වාස කළ නොහැකිවිය. ඇය පවසා තිබුනේ හෙට හවස 3ට සල්ගස යටදී ඇයව හමුවන ලෙසයි. මට මෙය විශ්වාස කල නොහැකි විය. වෙන කෙනෙකුට යවනලද කෙටි පණිවුඩයක් වැරදීමකින් මාවෙත ලැබී ඇත්ද? "ඔය ඇත්තමද අනේ? මොකටද?" ලෙස ඇයට නැවතත් කෙටි පණිවුඩයක් යැව්වෙද එම සැකය නිසාවෙනි."ඔව් ඔව් අනේ හෙට 3ට සල්ගහ යටට එන්නකෝ මට ඔයාව මීට් වෙන්න ඕන. ආවම කියන්නම් මොකටද කියල " ලෙස පිළිතුරු ලැබුණි.
                               එදින උදෑසනින්ම අවදිවූ මම පාන්දරින්ම හොඳට නාගත්තෙමි. ඒ සදුනිව හමුවීමට යනවිට හැකිතරම් ප්‍රියජනක ලෙස යා යුතු වන නිසාය. වෙනදා විනාඩියට දෙකට දත් මැද මුහුණ සෝදාගන්නා මම එදින පැයක් පමණ දත් මැද්දෙමි.  එමෙන්ම ලස්සනට පිළිවෙලට අළුත් ආරකට රැව්ලද කපා ගත්තෙමි. පහුගිය දිනක අම්මා මට අලුතින් කමිසයක් ගෙනවිත් තිබුණු අතර  එය ගෙනවිත් දී දැන් මාසයක් පමණ ගත වුවද තවමත් එක්වරක් හෝ මම එය නොඇන්දෙමි. මා ඒ කමිසය අරන් තැබුවේ විශේෂ අවස්ථාවකදී ඇඳීම සඳහාය. මෙම කමීසය ඇඳීම සඳහා මීට වඩා විශේෂ අවස්ථාවක්නම් උදා නොවනු ඇත. අලුත්ම කමිසය සමඟ මාහට තිබු හොඳම ඩෙලිමද ඇඳගත් මම නංගීගේ perfume බෝතලයද ඇග පුරාම ගසා ගත්තෙමි. ගෙදර ඇය එහාට මෙහාට වනතෙක් සිට හොරෙන්ම ගෙදරින් පැනගත් මම කැම්පස් එක බලා පියවර තැබුවෙමි. ඒ වෙනදාට වඩා මාගේ දක්නට ලැබුණු අළුත් වෙනස ගැන ගෙදර අය ප්‍රශ්න කරනු ඇතැයි යන භිය නිසාවෙනි.




                               මා හවස තුනටත් කලින්ම සල්ගස ළඟට ගියෙමි. වෙලාවටත් කලින්ම එතනට ගිය මම ඇය එනතුරු බලා සිටියෙමි. වේලාව සවස තුන පසුවී විනාඩි කිහිපයක් ගතවන්නට ඇත , සල්ගහ ළඟින් වැටී ඇති පාර දිගේ ඈතට වන්නට සෙමින් සෙමින් පිය මනිනා සඳුනිව හඳුනාගැනීම මට එතරම් අපහසු කටයුත්තක් නොවීය. අද ඇය වෙනදාටත් වඩා ලස්සනයැයි මට සිතුණි. "අහ්හ් සුපුන් , ඔයා වෙලාවටත් කලින්ම ඇවිත්නේ." මා දුටු විගසම ඇය සිනාසෙමින් කියන්නට වූවාය. "නෑ මන් වෙලාවට ආවා. ඔයා තමයි විනාඩි දෙක තුනක් පරක්කු උනේ ." මම සිනාසෙමින් කීවෙමි.මෙලෙස අපි දෙදෙනා ටික වේලාවක් ආගිය විස්තර කතා කළෙමු. "ඒක නෙවෙයි සඳුනි, ඇයි ඔයා මාව මීට් වෙන්න ඕන කිව්වේ?" ඇයගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවනු දක්නට ලැබුණි. ආයේ දෙකක් නැත ඇය මෙතරම් ලජ්ජා වන්නේ මාගෙන් කැමැත්ත විමසීමට හැර වෙන කුමකටද?  "හරි හරි කියන්නම් අනේ..පොඩ්ඩක් ඉන්නකෝ , මොකද ඔච්චරටම හදිසි?"  ඇය පිළිතුරු දුන්නාය . "නෑ එහෙම හදිස්සියක් නෑ ඉතිං, මන් දැනගන්න ඇහුවේ." "නෑ අනේ...... මේ .....මේකයි......." ඇය තම අත් බෑගයට අතදමා යමක් සොයන්නට විය. තම ආදරය කටින් කීමට තිබූ ලැජ්ජාව නිසා එය ලිපියකින් ලියාගේනවිත් සේය. ටික වෙලාවකින් බෑගයෙන් යමක් එළියට ගත් ඇය එය මා දෙසට දික් කරමින් මෙසේ කියන්නට විය. "අනේ සුපුන් , මට මෙන්න මේ ටික විකුණලා  දෙන්නකෝ." ඇයගේ අතෙහින් වුයේ පෑන් මිටියකි. එහි යම්කිසි වචන කිහිපයක්ද සටහන් කර තිබුණි. University of Colombo Faculty of Science යනු එහි සඳහන් කර තිබූ වචන කිහිපයයි.
     



Reactions:

13 comments:

  1. බුහ් හහ් හා මං නං දුවෙගනදුවෙගන අැවිත් ෙබ්ෙරට වත
    ් පයිනව ඔ්
    ෙය්ස්...

    ReplyDelete
  2. සහෝ, මේ සයිඩ් එකේ තියෙන කෑලි ටිකක් අඩු කරලා පෝස්ට් එකට වැඩි ඉඩක් දුන්නොත් නරකද? මොකද බ්ලොග් එකේ වටිනම තැන පෝස්ට් එකනේ..

    ReplyDelete
    Replies
    1. template එකේ පොඩි අවුලක් තියනවා. ඇයි පොස්ට් එක අපැහැදිලි වගේද?

      Delete
  3. ekanam patta :D

    ReplyDelete
  4. අගෙයි................. නියමයි............

    ReplyDelete