Friday, 8 August 2014

අරුංගල්

                                            නිල්මිණීගේ නිවස  අසළ  මිනිස්සු  පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීම පිණිසය.නිල්මිණීගේ අතින් අල්ලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනක් ගේ ඇතුළෙන් එලියට ආවාහ.මල් මල් ගවුමකින් සැරසී සිටි නිල්මිණීගේ දෙනෙත් කඳුළින් තෙත්වී තිබෙනු ගුණපාලට දැකගත හැකිවිය. රැස්ව සිටි පිරිසට මුහුණදීමට ලැජ්ජාවෙන්දෝ ඇය සිටියේ බිම බලාගෙනමය. ඇයගේ සියුමැළි දෑත වෙලාගෙන තිබුණු මාංචු දැක ගුණපාලට තම දෑස අදහාගත නොහැකිවිය. රැස්ව සිටි පිරිස පසෙකට කල පොලිස් නිලධාරීන් දෙදෙනා නිල්මිණීව සිය රථය දෙසට කැඳවාගෙන ගියෝය. හයක් හතරක් නොතේරෙන නිල්මිණීගේ සිඟිති දියණිය හඩා වැළපෙද්දී නිල්මිණී රැගත් ජීප් රථය ගෙදරින් පිටත්විය.




                                                 ගුණපාලට නිල්මිණී කෙරෙහි සිතක් පහළ වූයේ ඇය පාසල් යන අවදියේමය. කොන්ඩ කරල් දෙකක් බැඳ සුදුගවුමින් සැරසුණු නිල්මිණී ඉතාමත් සුන්දර යුවතියක් වුවාය. දැන් තිබෙන මළානික වූ දෑස් එකළ නිල්මැණික්  සේම දිලිසෙනු ගුණපාලට මතකය. ගුණපාල මෙන්ම තවත් බොහෝ පිරිමි ළමුන් එකළ නිල්මිණී කෙරෙහි වසඟ වී සිටියෝය. නමුත් ඒ සියල්ලන්ම පරදා නිල්මිණීගේ සිත ඇදී ගියේ අජිත් වෙතය. ඒ ඔහු කඩවසම් තරුණයෙක් වූ නිසාම නොවේ, අජිත් තුළ වූ හොඳ ගතිගුණ නිසාය. අජිත් සහ නිල්මිණී බොහෝ කල් සිටම ආදරවන්තයෝ වූහ. පාසල් කාලයේ ආදරය කෙලවර වූයේ විවාහයෙනි.එකලනම් අජිත් ඉතාමත් හොඳ යහපත් ගුණගරුක පුද්ගලයෙක් විය. ඔහු නිල්මිණීට බෙහෙවින් ආදරය කළේය. නමුත් විවාහයෙන් පසුව මේ සියල්ල වෙනස්විය. අජිත් නිල්මිණීගේ දෑස් ඉදිරියේම හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් බවට පත්වන්නට විය. ඇත්තටම ඔහු වෙනස් වූවා නොවේ , එය ඔහුගේ සැබෑ ස්වරූපයයි. ආදරය කරන කාලය තුළදී ඔහු පෙන්වා ඇත්තේ වෙස්මුහුණක් පමණකි. එම වෙස්මුහුණ තවදුරටත් පැළඳගෙන සිටීමට ඔහුට අවශ්‍යතාවක් මෙන්ම වුවමනාවක්ද නොවීය. 
                                          අජිත් හා නිල්මිණි යුගදිවියට පිවිසෙන්නේ දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ ආශිර්වාද ඇතුව නොවේ. දෙපාර්ශවයේම වැඩිහිටියෝ මෙයට අකමැති වූ අතර ඒ සියලුම බාධා මැද්දේ ඔවුන් දෙදෙනා විවාහවිය. නමුත්  විවාහයෙන් පසුව දෙමව්පියන් තුළ තිබූ තරහව ටිකින් ටික ඉවත්ව ගියේය. පාසල් ගමන හමාර කළ නිල්මිණි සිටියේ සිය මවගේ වැඩපල වලට උදව් පදව් වෙමිනි. සරසවි වරම් ලැබීමට තරම් හොඳ ප්‍රතිපලයක් නොලැබීම එයට හේතුවයි. පාසල් දිවියට සමුදුන් පසු අජිත් ගමේ වූ ගල්පොරියේ වැඩට ගියේය. විවාහයෙන් පසු නිල්මිණී ගේ දොර වැඩකටයුතු බලා කියාගෙන ගෙදරට වී කාලය ගතකළ අතර අජිත් දිගටම ගල් පොරියේ රස්සාව කළේය. නමුත් වැඩිකල් නොගොස්ම අජිත් බීමට ඇබ්බැහි වීමත් සමඟම මේ සුන්දර කුරුළු කූඩුවට අවාසනාවේ අඳුරු සෙවනැළි  ගලා ආවේය. හැමදාම හවසට අජිත් ගෙදර ආවේ කටගොන්නක් බීගෙනය. හම්බකරනා හැම සතයක්ම පාහේ ඔහු බීම සඳහා වියදම් කළේය. එපමණක් නොව තමා බෙහෙවින්ම ආදරය කල නිල්මිණී සමඟ රණ්ඩු ඇල්ලීමට පමණක් නොව ඇයට අමානුෂික ලෙස පහරදීමට තරම්ද ඔහු කුරිරුවිය. ඔහු නිල්මිණීට වඩා අරක්කු බෝතලයට ආදරය කළේය.
                                         නමුත් නිල්මිණී මේ කරදර සියල්ලම ඉවසාගෙන සිටියේ තමාට ලැබෙන්නට සිටි දරුපැටියාගේ මුහුණ දුටු පසුවවත් අජිත් මේ නරක පුරුදු අත්හැර හොද මිනිසකු වෙවියයි යන  අපේක්ෂාවෙනි. සිය දරුවාගේ මුහුණ දුටු පසු වෙනස්වුනු බොහෝමයක් පිරිමින් ගැන නිල්මිණී පොත්වලින් කියවා තිබිණි.එමෙන්ම ටෙලිනාට්‍ය වල පමණක් නොව විවධ චිත්‍රපට වලද ඇය එවැනි දේ දැක තිබුණි. නමුත් අජිත් ඒ නිල්මිණී කියවා , අසා තිබූ පුරුෂයන් මෙන් නොවීය. දරුවා ලැබුණු පසුවද අජිත්ගේ ක්‍රියා කලාපයේ කිසිදු වෙනසක් සිදු නොවුණි. ඔහුට හැම දෙයකටම වඩා ලොකු වූයේ අරක්කු බෝතලයයි. අඩුගානේ සිය සිඟිති දියණියගේ ඕනෑ එපාකම් ගැනවත් ඔහු සොයා නොබැලුවේය.
                                          කල්යත්ම අජිත් තමා හම්බකරන හැම සතයක්ම බීම සඳහා නාස්ති කරන්නටවිය. ගෙදර කෑම බීම සඳහා අවශ්‍ය අඩුම කුඩුම වලටවත් මුදල් නිල්මිණී වෙත ලබා නොදුනේය. ඒ මදිවට හැමදාම රෑට බීගෙන විත් නිල්මිණීට නොසෑහෙන්න පහරදුන්නේය. නිල්මිණීටනම් දැන් මෙම ජීවිතය තිත්ත වී තිබුණි. සියදිවි හානිකරගැනීමට සිතුනු වාර ගණන අනන්තය. නමුත් තමන්ද නැතිවූ විට දරු පැටියාට යන කල දසාව  කුමක්ද? ඇය ජීවත් වූයේ තම සිඟිති දියණිය වෙනුවෙනි. ඇයට තිබූ ලොකුම ප්‍රශ්නය වන්නේ සිය දරුවාගේ කුස පුරවන්නේ කෙසේද යන්නයි. ඇය ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුනාය. අවසානයේ ඇය අල්ලපු ගමෙහි තිබූ ගාමන්ට් එකෙහි වැඩට යාමට තීරණය කළාය. නමුත් ඇයට තිබූ ලොකුම ගැටළුව  වූයේ ඇය වැඩට ගිය පසු දියණිය බලාගන්නට කෙනෙක් නොමැති වීමයි. දැන් නිල්මිණීගේ මව සහ පියා ඔවුන් සමඟ තරහක් නැත. දියණිය ඉපදීමත් සමඟම තිබුණු සුළු සළු නොහොඳ නොක්කාඩුද පහවී ගියේය.එමනිසා දියණිය සිය මව ගාව තබා යෑමට නිල්මිණී තීරණය කළාය. උදෑසන වැඩට යෑමට පිටත්වන ඇය දියණිය සිය මවට භාරදී යන අතර හවස වැඩ හැරී එනවිට නැවතත් ගෙදරට කැඳවාගෙන එන්නීය.ආත්තම්මාද සිය මිණිබිරියට බෙහෙවින් ආදරය කළ අතර ඇයව ඉතාම කරුණාවෙන් රැක බලාගත්තාය.
                                       තමා හා අජිත් අතර කෙතරම් ආරවුල් සිදු උනද ඒවා සිය දෙමව්පියන්ගෙන් වසන් කර තබා ගැනීමට නිල්මිණී වග බලාගත්තාය. “මොකද කෙල්ලේ උඹ ගාමන්ට් යන්න හිතුවේ? ඇයි අජිත් හම්බකරන ඒවා මදිද ජීවත්වෙන්න?”  “ දැන් ඉතින් දුවෙකුත් ඉන්නවනේ අම්මේ , දුවගේ අනාගතේ ගැනත් අපි හිතන්න ඕනනේ . අජිත්ගේ පඩියෙන් හැමදේම කරන්න බැහැනේ.”
                                       අජිත්ගේ ක්‍රියා කලාපය තව තවත් නරක අතට හැරෙන්නටවිය. අතිශයින්ම බීමට ඇබ්බැහි වූ ඔහුගේ බීම සඳහා  දවසට හම්බකරන මුදලද ප්‍රමාණවත් නොවීය. කෙමෙන් කෙමෙන් දියණියද වයසින් වැඩෙන්නට විය. ඇයගේ කණ විදීම සඳහා සුදුසු කාලයද එළඹිණි. “ අජිත්, දැන් දුවගේ කණ විදින්නත් වයස හරි.” “ඉතිං ඕක මහලොකු දෙයක්ද නිල්මිණී , මිඩ්වයිෆ් නෝනා ළඟට ගියානම් පැය බාගෙන් විදගෙන එන්න පුළුවන්නේ.” “ ඒක මං දන්නවා මනුස්සයෝ , කණ විදින ඒක නෙමෙයි ප්‍රශ්නේ.” “එහෙනම් මොකද්ද?” “කණ විද්දට පස්සේ ඉතිං කෙල්ලගේ කණ පාළුවට තියන්න පුලුවනෑ, ඒකිට අරුංගල් දෙකක් අරන් දෙන්න ඕනනේ කණට දාන්න.” “රත්තරං ඒවා ගන්න කොහේ තියන සල්ලිද බන්? දැනට ඔය ඉමිටේෂන් දෙකක් දාමු. පස්සේ සල්ලි තියන දවසක බැරිය ඉතිං රත්තරං අරුංගල් ජෝඩුවක් අරන් දෙන්න.” “තමුසේ ගාව කවදද ඉතිං සල්ලි තිබුණේ, කොහෙද ඉතිං හම්බකරන තුට්ටු දෙක බොන්නම මදිනේ.” යැයි නිල්මිණීට කියන්නට සිතුනද ඇය එම වදන් තම මුවින් පිට නොකිරීමට වග බලාගත්තේය.මන්දයත් තවත් අජිත් සමඟ රණ්ඩු කිරීමට හෝ ඔහුගේ දෑතේ හයිය බැලීමට අවශ්‍යතාවයක් ඇයට නොතිබූ නිසාය.



                       තවදුරටත් අජිත් සමඟ මේ ගැන කථා කිරීමෙන් පළක් නැත. යමක් ගැන කථා කර ගැනීමට ඔහු හොද සිහියෙන් සිටින අවස්ථාවක් උදා වන්නේද බොහෝම කලාතුරකිනි. දියණියට කෙසේ හෝ අරුංගල් දෙකක් අරන් දීම නිල්මිණීගේ අභිප්‍රාය විය.මාස කිහිපයක් එකදිගට නයිට් ඩියුටි කළ ඇය අරුංගල් මිලදීගැනීමට අවශ්‍ය මුදලින් සෑහෙන ප්‍රමාණයක් සොයාගැනීමට සමත්විය. කාලයක් තිස්සේ ඇය බොහෝ අමාරුවෙන් ඉතිරි කරගන්නා ලද මුදල් ප්‍රමාණයක්ද ඇය ළඟ විය.ඒවාද එකතුකොට දියණියට රන් තෝඩු යුවලක් මිලදීගැනීමට නිල්මිණී සමත්විය. ඇය නයිට් ඩියුටි කරන කාලය තුළ දියණිය අත්තම්මාගේ නිවසෙහි නවත්වා තබනු ලැබීය. කෙසේ වෙතත් එක දිගට මාස කිහිපයක් නිදිමැරීම හේතුවෙන් ඇය දැඩිලෙස රෝගාතුරවිය. හරි හැටි කෑමක් බීමක් පවා නොමැතිව මාස ගණනක් එකදිගට මහන්සිවීම නිසා නිල්මිණීගේ ශරීරය බෙහෙවින් දුර්වල වී තිබුණු අතර ඇයට දින කිහිපයක් රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගැනීමටද සිදුවිය.එමෙන්ම සතියක් හෝ දෙකක් රැකියාවට නොගොස් විවේක ගන්නා ලෙසටද වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබුණි.

                                      කාලය ගෙවී ගියේය. අජිත්ගේ බේබදුකම එන්න එන්නම උග්‍ර වන්නට විය.මේ නිසාම ඔහුගේ රැකියාව පවා අහිමිවිය. බීමට මුදල් නොමැති වූ ඔහු ගෙදර බඩුමුට්ටු පවා උකස් කරමින් මත්පැන් පානය කරන්නට විය. අවසානයේ නිල්මිණීට හොරෙන් ඇයගේ කණකර පවා උකස් කර මත්පැන් පානය කළේය.දිනක් වැඩනිමවී හවස ගෙදර එන අතරතුර නිල්මිණීට ගුණපාල හමුවිය. “නිල්මිණී නංගි, නිල්මිණී නංගි,” “ඇයි ගුණපාල අය්යේ?” ගුණපාල තම අතෙහි ගුලිකරගෙන තිබුණු දෙයක් නිල්මිණී දෙසට දිගු කළේය. “මේක නගාගෙ දුවගේ නේද?” “මොකද්ද අය්යේ?” ඇය වහාම කඩදාසි කොළයකින් ඔතා තිබුණු කුඩා දෙය විවර කර බලන්නටවිය. ඇයගේ දෑස් අදහාගැනීමටවත් නොහැකිවිය. එහි වූයේ ඇය සිය දියණියට අරන්දුන් අරුංගල් දෙකයි. “ අය්යේ, අයියට කොහෙන්ද මේක?” ඕක සිරිපාල මුදලාලිගේ කඩේ තිබුණේ නගා , මුදලාලිට කව්ද ඕක දීල රුපියල් පන්සීයක් ඉල්ලගෙන ගිහින්.” “අයිය මේක කීයටද ගත්තේ? ඉන්න මං අයියට සල්ලි දෙන්නම්.” “අනේ නෑ නෑ , දැන් සල්ලි එපා නගා. නගා ඕක තියාගන්නකෝ .පස්සේ තියන වෙලාවක කීයක්හරි ගන්න බැරිය.” සිදුවී ඇත්තේ කුමක්දැයි වටහාගැනීමට නිල්මිණීට වැඩිවෙලා ගතනොවුනි. ඇය ඒක හුස්මට නිවස බලා දිවගියේ සිරිපාල සොයාගෙනය.
                                       නිල්මිණීගේ ගෙදර අසල රැස්ව සිටි පිරිස අතරින් ගුණපාල ගේ ළඟටම කිට්ටු කර බැලුවේය. කිසිවෙකුගෙනුත් බාධාවක් නොතිබූ හෙයින් ඔහු ගේ ඇතුළට ඔලුව දැම්මේය.අජිත් ලේ විලක් මැද වැටී සිටි අතර ඔහුගේ ඇග පුරාම කැපුම් තුවාළ දක්නට ලැබුණි.පසෙකින් ලේ තැවරුණු ලොකු මන්නේ පිහියක්ද වැටී තිබෙනු දක්නට ලැබුණි.සියල්ල නඩු භාණ්ඩ ලෙස සලකුණු යොදා තිබුණු අතර ඒ අසළ පොලිස් නිලධාරින් කිහිප දෙනෙක්ම පරීක්ෂණ කටයුතු සිදුකරනු දක්නට ලැබුණි. මේ කිසිවක් නොදත් නිල්මිණීගේ පුංචි දියණිය පසෙකට වී මහා හයියෙන් හඬා වැළපෙනු දක්නට ලැබුණි. ඇය වැළපෙන්නේ සිය මව නැති සොවින්ද නැතහොත් පියා  නැති සොවින්දැයි සිතාගැනීමට නොහැකි වූ ගුණපාල දරුවාද වඩාගෙන ගෙදරින් එළියට ආවේය.
-නිමි-







Reactions:

20 comments:

  1. හුටා...
    මේක ඇත්ත කතාවක් කෙටිකතාවකටු පෙරලලද..
    මට මතකයි මං මේ වගේ සින් එකක් කියවේව කොහෙදි හරි

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වෙනට්ම් මටත් නිතරම පත්තර වලින් කියවන්න ලැබෙන දේවල් වලින් .මේකම නැතත් මේ වගේ කතානම් ඕනෑතරම් කියවල ඇති.

      Delete
  2. පට්ට (Y) (Y)

    ReplyDelete
  3. මගේ ඇස් දෙකට .... මේ වගේ චරිත දැකල තියනවා.... මෙවැනි මිනීමැරුම් දැකල තියනවා..... සාධාරණය කොතනද කියල මට තේරෙන්නේ නැ.....මිනිහෙක් මරන්න හයියක් ගැනියෙකුට නැ. ඒත් ඒ හයිය දුන්නේ කවුද ..... ඒ මිනිහම තමයි..... තරිදු....... මේවා දවසකට හතරක් ,පහක්වත් වෙන සිදුවීම්.... අහම්භයන් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිහිංසා අද අපේ සමාජයේ මේවා සාමාන්‍ය දෙයක් වෙලා.අපිට කොතැනක හරි වැරදිලා තියනවා. අද මනුස්ස ජීවිතය කියන ඒක වටිනාකමක් නැති දෙයක් බවට පත්වෙලයි තියෙන්නේ.

      Delete
  4. ඇත්තම කථාවක් වගේ

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වේනම් ඇත්ත කථා වලින් ගත්ත දේවලින් තමයි

      Delete
  5. මොනවා උනත් නිල්මිණීට අජිත්ව මරන්න පුළුවන් උනා කියල මං හිතන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එයාගේ මානසික තත්වය අනුව එහෙම දෙයක් කරන්න හිතෙන්න බැරි කමක් නැහැ නේද?

      Delete
    2. ඔව් එත් මරන්න තරම් තරහක් ?

      Delete
    3. කාලයක් තිස්සේ සීමාව පනිනකම්ම ඉවසුවහම එහෙම වෙන්න පුළුවන්.

      Delete
  6. කියන්න වචන නෑ බං, කතාව උපරිමයි.. මිනිස් ජීවිත ගැන කොහොම කියලා ඉවර කරන්නද..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං . අපිට කොහේ හරි වැරදිලා තියනවා. නැත්නම් කවදාවත් මිනිස් ජීවිතයක් මේ වගේ වටිනාකමක් නැති දෙයක් බවට පත්වෙන්නේ නෑ

      Delete
  7. Replies
    1. අදහගන්නත් බැරි දේවල් තමයි දැන් වෙන්නේ නේද?

      Delete
  8. මේක කතාවක්ද නැත්නං සිද්ධි පෙල ගැස්වීමක්ද?? එකම අච්චුවේ මෙවන් කතා නං සුලභයි.. වෙනස් ආරක කතාවක් ලියන්න.

    මුලම මට අහු උනා පොඩි වරදක්.. “මිනිසුන් පිරී තිබෙනු“.. ඒක ගැලපෙන්නෑ...

    ජය වේවා.. ලිවීම තමා අත්දැකීම් ලබා දෙන්නේ.. දිගටම ලියන්න.. මං බලන් ඉන්නවා හරිය

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි. වරද නිවැරදි කරගන්නම්.

    ReplyDelete
  10. දුක හිතෙන කථාවක්....
    ඉවසල ඉවසල බැරිම තැන ගන්න තීරණ ගොඩාක් ධරුණුයි...

    සුභ පැතුම්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒක තමයි ඉවසීමේ සීමාව පැන්නම බොහෝම දරුණුයි.

      Delete