කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

Sunday 20 April 2014

මලක අරුම



විසිරි අතු අග - හිරුට නොපෙනෙන 
සැඟව සුපිපුණු - මලක් වේනම් 
සිනිදු මල දැක - කලල් බිඟු කැල
රොන් උරන්නට - පොර බඳියි නම් 

තටුද ගැලවී - බලය වියැකුණු 
දුබල බඹරෙක් - මල දකියිනම් 
ඉතිං පල කීම - එයට පෙම් බැඳ
රොන් උරනු කෙලෙසද?
කිසිදා ලංවිය නොහැකි මලකින් 

දුබල බඹරුන් - මල දකිනමුත් 
එමල සිඹිනට - නොහැක කිසිදා
පොර බදින්නේ - කෙලෙසින්ද ඔහු
සවිය බල ඇති - සවිමත් බිඟුන් හා 

සවිය ඇත්තා - දිනයි සැමදා
සිපගනියි මල - රොන් ගනියි ඔහු
එම මලින් පසු - තවත් මලකට
සියළු මල් හිමිවේය ඔහු හට

මල් නෙළන්නට - රොන් උරන්නට 
නොහැක කිසිදා - දුබල බඹරට

ගසින් ගිලිහී - එමල වැටුනත්
දුබල බඹරෙකුගෙ - දෙපා මුලටම 
කැමති වේවිද - එමල කිසිදා 
පුදන්නට රොන් - දුබල බිඟු හට ??????




Tuesday 8 April 2014

ලෝක කුසලානය හා මාලිංග

                       
වසර දහඅටකට පසුව යළිත් වරක් ලෝක කුසලානයක් සියරට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.වසර ගණනාවක් තිස්සේම ප්‍රතිවාදීන් සලිත කරවූ ලොව අංක එකේ ක්‍රිකට් කණ්ඩායමක් ලෙස තම ස්ථානය රැකගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිව් වතාවක්ම ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබුවද කුමක් හෝ අවාසනාවක් නිසා එම කුසළාන හතරම අප අතින් ගිලිහී ගියේය.මෙවරත් පස්වන වතාවටත් ලෝක කුසළාන අවසන් තරගයකට සුදුසුකම් ලැබූ අප කණ්ඩායම මෙවරනම් නිසැකවම කුසලානය මව්බිම කරා රැගෙන එන බව අප සැම දෙනාම තරයේ විශ්වාස කළෝය.ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන් නොයෙකුත් කථා කියද්දී, ඉන්දියානු තුට්ටු දෙකේ විචාරකයෝ වෙනදා මෙන්ම අසීමිත ලෙස ඉන්දියාවට ආවඩද්දී , ඒ සියළුම දුර්මත පරදා අප සිංහ පැටවුන් ලෝක ක්‍රිකට් කිරුළ තමන් සතු කරගත්තේ රසල් ආනොල්ඩ් නම් වූ නිර්භය විස්තර විචාරකයාගේ අනාවැකි පමණක් සඵල කරමිනි.
                         ගාල්ල රත්ගම ග්‍රාමයේ ඉපිද අහම්බෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ලසිත් මාලිංග අහඹුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයටද පත්වී ලෝක කුසලානයක් ඉසිලූ දෙවන ශ්‍රී ලාංකික නායකයා බවට පත්වීමට තරම් භාග්‍යවන්ත විය.පසුගිය වකවානුව තුළ මාලිංග ගැන බොහෝ දෙනා විවිධ කථා කීහ.ඔහු මුදල් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන්නෙක් බව ප්‍රකාශ කළහ.නමුත් එම සියළුම දෙනාම ලබාදිය හැකි හොදම පිළිතුර අද ඔහු ලබා දී ඇත.ඒ තම නායකත්වය යටතේ ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා මව් තුරුලට ගෙනවිත් දෙමිනි.ජාතියේ ක්‍රිකට් සුරකීමේ මහා වගකීම අතටගත් ස්වර්ණවාහිනී Live @ 8 එකදිගට සතියක් මෙන් ඔහුට මඩගසනු අපි දුටුවෙමු.නමුත් ඔවුන්ද අද ඒ කිසිවක් සිදු නොවූ පරිද්දෙන් ඔහුට සුභපතන්නේ නූතන මාධ්‍ය සදාචාරය මනාව පිළිඹිඹු කරමිනි.IPL තරගාවලියෙන් මාලිංගගේ පන්දු යැවීමේ රටාව ඉන්දියානුවන් විසින් ග්‍රහණය කරගෙන ඇතැයි බොහෝ විස්තර විචාරකයෝ පැවසූහ.එම ප්‍රකාශය සනාථ කර ඉන්දියානු පිතිකරුවෝ පැවසුවේ මාලිංග තවදුරටත් තමන්ට අභියෝගයක් නොවන බවය.මේ සියල්ලම සත්‍ය අසත්‍යතාවය ලෝක කුසළාන අවසන් මහා තරගයේ අවසන්   පන්දුවාර හතර තුළදී අපට මනාව දැකගත හැකිවිය.සචින් ටෙන්ඩුල්කාගෙන් පසු ඉන්දියාවේ බිහි වූ සුපිරිම පිතිකරුවා වන කෝලිට පමණක් නොව, ලොව සිටින හොඳම ඉනිම් අවසන් කරන්නා ලෙස ඉන්දියානු විචාරකයෝ හඳුන්වාදෙනු ලැබූ මහේන්ද්‍ර සින්ග් දෝනිටද එම පන්දුවාර හතර තුළ කිසිවක් කර කියාගත නොහැකිව අසරණ වී සිටිනු අපි දුටුවෙමු.අවසන් පන්දුවාර හතරේ ලකුණු 19 පමණක් ලබාගැනීමට තරම් ඔවුන් අසරණ වූහ.ලෝකයේ සිටින විශිෂ්ටම පිතිකරණ බලඇණිය කුලේගේ හා මාලිගේ පන්දු යැවීම හමුවේ අසරණ වූයේ එසේය.තරගය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වූ කෝලිද කියා සිටියේ එවැනි ආකාරයේ පන්දු යැවීමක් හමුවේ තමාට කළහැකි දෙයක් නොතිබූ බවයි.

             සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තම ක්‍රිකට් ජීවිතය ඇරඹු ලසිත් මාලිංග අද සිටින තත්වයට ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ගාල්ල මහින්ද ව්ද්‍යාලයේ අචාර්ය වරුන් වන කීර්ති ධර්මප්‍රිය හා කෝලිත ද සිල්වා ගුරු පියාණන් වරුන්ටය.සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී මාලිංගගේ පන්දු යැවීම දුටු කීර්ති ගුරු පියාණන් ලෙදර් පන්දු ක්‍රීඩා කිරීම සඳහා ඔහුට ගාල්ල මහින්ද විද්‍යාලයට ආරාධනා කළේය.එවකට අධ්‍යාපනය ලබමින් සිටි ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් ඉවත් වූ ඔහු ගාල්ල මහින්ද  විද්‍යාලයට ඇතුළත් වූයේ ක්‍රිකට් ක්‍රීඩාව හැදෑරීමේ මූලික අරමුණෙනි.එතැන්සිට මාලිංගගේ වගකීම භාරගත් මහින්දය ඔහු මහින්දයෙන් පිටතට යවන්නේ එවකට ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නා වශයෙනි.මහින්ද විද්‍යාලය වෙනුවෙන් රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයින්ගේ සටන තුන්වරක්ම නියෝජනය කළ ඔහු 2001 වසරේ හොඳම පන්දු යවන්නා බවටද පත්විය. මාගේ දිවිගමන වෙනස් කළ හැරවුම් ලක්‍ෂය මිහිඳු මාතාව වූවා සේම මාලිංගගේ දිවිය වෙනස් කළ ආශිර්වාදයද ගාල්ල මහින්දය වන්නටම ඇත.මහින්දයේ කළු රන්වන් වර්ණ පැළදීමට මා බෙහෙවින් ආශා කළා මෙන්ම එම වර්ණ පැළදීමට ඔහුද බෙහෙවින් ආශා කරන්නට ඇත.

                                             මෙතෙක් කල් ලංකාව අවසන් මහා තරග වලට සුදුසුකම් ලැබූ ලෝක කුසළාන හතරෙදීත්, මෙවර ලෝක කුසලානයෙදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම ශක්තිමත් අංශය වූයේ පන්දු යැවීමේ අංශය යැයි බොහෝ විචාරකයෝ පවසති. එදා මෙදා තුළ එම බලඇණියේ නැතුවම බැරි ප්‍රභලතම අවිය වූයේ මාලිංගයි. මා දකින පරිදිනම් මාලිංග හා සමකල හැකි වේගපන්දු යවන්නකු වර්තමාන ක්‍රිකට් ලෝකය තුළ පහල වී නොමැත.එවැනි වූ අසමසම ක්‍රීඩකයෙක් බිහි කිරීමට තරම් මිහිඳු මාතාවන් වාසනාවන්ත වීය.එම මිහිඳු මව් තුරුළේ හැදී වැඩුණු අපිද ඔහු වෙනුවෙන්  නිහතමානීව ආඩම්බර වෙමු.මාලිංග තුළ අප සැමදා දකින නිහතමානී කමට , අවංක බවට , අව්‍යාජ බවට බොහෝ දෙනා ගරු කරති.එවැනි ක්‍රීඩකයන් බිහි කිරීම වෙනුවෙන් මිහිඳුවන් ලෙස අපිද නිරහංකාරව සතුටුවෙමු.ලොව විශිෂ්ට ක්‍රීඩකයෝ බිහිවන්නේ කලාතුරකිනි, නායකයන් බිහිවන්නේ ඊටත් වඩා කලාතුරකිනි, නමුත් ලෝක කුසලානයක් මව්බිමට හිමිකරදුන් නායකයින් සිටිනුයේ දෙදෙනෙකු පමණකි. ඉන් එක්  අයෙක් මිහිඳුවෙකු වීම පිළිබඳව අප තුළ ඇත්තේ කියාගතනොහැකි තරම් වූ සතුටකි.ඔහු පිළිබඳව අපි නිරහංකාරව සතුටු වෙමු, ආඩම්බර වෙමු.එම සතුට , ආඩම්බරය මුළු ජීවිතය පුරාවටම අපව ඉහළින් ඔසවාතබනු ඇත.

ලෝ පතළ කීර්තියෙනි වේ ජයම දින දිනා
මේ මහින්ද ශාස්ත්‍රශාලා කීර්තියෙනි වැජඹේවා...





Saturday 5 April 2014

උස පෙම්වතුන් කෙරෙහි තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි?

             බොහෝමයක් තරුණියන්  වඩාත් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. මෙය විවිධ අය විවිධ ලෙස නිර්වචනය කරන අතර එයට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.නමුත් තරුණියන් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ කුමක් නිසාදැයි යන්නට නිශ්චිත හේතුවක් ගෙනහැරපෑමට නොහැක. පහත දැක්වෙන්නේ ටිකක් උසින් අඩු තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක් මේ පිලිබඳ දක්වා ඇති අදහස් කිහිපයකි.


                                  


මාගේ පෙම්වතා උස විය යුත්තේ ඇයි?


                                 මාගේ පෙම්වතා උස අයෙකු වූ විට බොහොමයක් වාසි ඇත.ඉතාමත් වැදගත් වාසියක් වන්නේ නිවසේ වැඩ කටයුතු කරගැනීමට පහසු වීමයි.නිවසේ මකුළු දැල් කැඩීම, විදුලි පංකාව පිරිසිදු කිරීම, විදුලි බුබුළු මාරු කිරීම, වැනි ඉතා සුළු කාර්‍යයන් කිරීමට පවා බොහෝ පුද්ගලයන්ට ඉනිමගක් අවශ්‍ය වේ. නමුත් මාගේ පෙම්වතා උස අයෙකු වූ විට එවැනි සුළු කාර්‍යයන් ඉටු කිරීමට ඔහුට ඉනිමගක් අවශ්‍ය වන්නේ නැත.ඉතාමත් පහසුවෙන් එම කාර්‍යයන් සිදුකළ හැකිය. එමනිසා නිවසට ඉනිමගක් අවශ්‍ය වන්නේ නැත.ඉනිමගක් මිලදී ගැනීමට යන මුදලද ඉතිරි කරගත හැකිය.එමෙන්ම උත්සවයක් වැනි විශේෂ අවසථාවක් සඳහා සැරසිලි කිරීම ඔහුට ඉතාමත් පහසුය. එමනිසා ඕනෑම කාර්‍යයක් ඉතාමත් අඩු කාලයකින්, ඉතා හොඳින් සිදු කිරීමේ හැකියාව ඔහු උස වූ විට ඔහුට හිමි වේ.
                             එමෙන්ම බස්රථයේ ගමන් කරන විටදී බස් රථයේ සීනුව නාද කිරීමට මා උස මදි බැවින් ඔහුට එය මං වෙනුවෙන් නාද කළ හැකිය. එමනිසා කිසිදු කරදරයකින් තොරව බස් රථයේ ගමන් කළ හැකිය.නිවසේ ගෙවත්තේ හෝ වෙනත් ස්ථාන වල ඇති අඹ , පේර වැනි ගස්වලින් ඉතාමත් පහසුවෙන් ඔහුට පළතුරු කඩාගත හැකිය.එවිට වෙළඳසැලකට ගොස් පළතුරු මිලදීගැනීමට අවශ්‍ය වන්නේ නැත.එම වැයවන මුදලද ඉතිරිකරගත හැකිය.මාගේ පෙම්වතා උස අයකු වූ විට ඔහුට අශ්වයන් පැදීම ඉතාමත් පහසු කාර්‍යයක් වන්නේය. එමනිසා අශ්වයකු පැදීමේ කදිම අවස්ථාව ඔහු නිසා මටත් හිමිවන්නේය.
                            ගඟක මුහුදක හෝ පිහිනුම් තටාකයේ මා ගිලෙන්නේට ගියහොත් ඔහු පිහිනීමට නොදන්නා අයෙකු වුවත් ඔහු ඉතා උස අයෙකු බැවින් ඔහු ගිලීමේ ප්‍රවණතාවය අඩු නිසා මාව බේරාගැනීමේ හැකියාව ඔහුට ඇත.එමනිසා ඔහු සමඟ ඉන්නාවිට ඉතාමත් ආරක්ෂාකාරී හැඟීමක් ඇති වේ.සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග නැරඹීමට ඉතා විශාල පිරිසක් පැමිණෙන නිසාත්. මා උසින් අඩු නිසාත් ඒවා නැරඹීම ඉතා අපහසුය.නමුත් මාගේ පෙම්වතා උස අයෙකු වූ විට ඔහු සමඟ සංගීත ප්‍රසංග නැරඹීමට යාමේදී අපහසුතාවයකින් තොරව ප්‍රසංගය නැරඹිය හැකිය.මෙවැනි වාසි ගණනාවක් මාගේ පෙම්වතා උස අයෙකු වූ විට හිමිවන බැවින් ඔහු උස අයෙකු වීම වඩාත් යෝග්‍ය වේ.