කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

Friday 21 February 2014

පට්ට කෑල්ල




"අම්මටසිරි අද බස්වල පට්ට සෙනගනේ බන් seat එකක්නම් ලබෙනෙකක් නෑ ලොවෙත්."
"යකෝ උබ නිකං අද බස්වල සෙනග කියන්නේ වෙනදට සෙනග නෑ වගේනේ , කොහොමත් ඔෆිස් ටයිම් වලට මේ බස්වල සෙනඟ තමයි."
"ආහ ඔව් නේ බන් මේ බස්වල කවදත් සෙනන්ගනේ  , ඔන්න ඕකේ සෙනඟ අඩුයි වගේ නැගපන් නැගපන්."
   කඩිමුඩියේ බස්රථයට නැගගත් අපි පිටුපස ආසනයේ ඉඩ තිබූ බැවින් එහි වාඩි වීමු.
"මල්පෙතිවල  පාට ගෑවේ ඇයි සියුමැළි දෙතොලේ......., දෙතොලේ විතරක් නෙවෙයි දැන් මුන් පාට නොගාන තැනක් නැහැනේ."
"අඩේ , අර කෙල්ලගේ කොන්ඩේ කහපාට වෙලා මොකද? කහ උණ වත් හැදිලද?"
"යකෝ කහ උණ හැදුනම කොන්ඩේ කහපාට වෙනවද බූරුවො, එතකොට මූණනේ කහපාට වෙන්නේ."
"අප්පටසිරි එහෙනම් මී උණද දැන් නෑ "
"අනේ *&^$#@#%^*  තෝ අත උස්සලද කැම්පස් ආවේ?"
"නෑ බන් Z score case එක නිසා ලකුණු වැඩි උනානේ ඒකයි. මොනා උනත් හරි සීදේවි කෙල්ල නේද බන්?"
"ඔව් ඉතිං උඹටත් ඇහැට කණට පේන කෙල්ලෙක් දැක්කොත් ඉතිං සීදේවි තමා ."


බස් එකේ එන්ජිමේ ගොරහැඩි නාදයත් හතරවටෙන් ඇසුණු සියළුම ශබ්දත් පරදවමින් කොන්දා බෙරිහන් දෙන්නට විය.
"ආ පස්සෙන් සල්ලි ගන්න, පස්සෙන් සල්ලි ගන්න "
"පිස්සුද අයියේ , පස්සෙන් සල්ලි ගන්න පුලුවන්නම් අපි බස්වල යනවද, අඩෝ මේ සමිය  අද මටත් එක්ක ටිකට් ගනින්කෝ "
"පිස්සුද බන් මමත් මේ අද ඉබ්බෙක් දාන්න හැදුවේ ."
"අඩෝ ඉබ්බෝ දාන්න එපා බන් පව්සිද්ද වෙනවා.උඹත් ලබන ආත්මේ කොන්දෙක් වෙලා උපදියි."
"අනේ පල හෝතඹුවෝ යන්න එහෙනම් අපේ ඔය දේශපාලුවොන්ට මැරිලා ඉපදෙන්න තැනක් නැතුව යනවනේ "
"හරි හරි මං ගන්නම් එහෙනම් ,අයියේ කොට්ටාව දෙකක් දෙන්න ." අප දුන් රුපියල් සීය ගත් ඔහු ඉතිරි සල්ලි ලබා දුන්නේය.
"අයියේ එකපාර දෙකක් ගන්නකොට discount එහෙම දෙන්නේ නැද්ද?"
මඳ සිනහවක් පෑ කොන්දා "එතකොට අපේ පඩියටත්  discount වැටෙනවනේ මල්ලි"
"අප්පටසිරි එහෙමද? එහෙනම් එපා අයියේ." නැවතත් මඳ සිනහවක් පෑ ඔහු එතනින් ඉවත්ව ගියේය.
"අපරාදේ යකෝ සල්ලි දුන්නේ අරූ ටිකට් දුන්නෙත් නෑ."
"ආ ඒකට අව්ලක් නෑ උඹනේ සල්ලි දුන්නේ "
"නොදකින් විතරක් හාල්පාරුවා ආයෙනම් තොටත් එක්ක සල්ලි දෙන්නේ නෑ "
      වෙනදා පුරුදු ලෙසම බස් එක විනාඩියක් ගමන්කර පැයබාගයක් නතර කරගෙන සිටියි.
"මේකට highlevel road කියනවත්තේ vip අයට විතරක් වේගෙන් යන්න පුළුවන් නිසා වෙනනැති නේ බන් ."
"සිරාවට බන් vip කාරයෝන්ටයි ambulance එකකටයි ඇරුනම වෙන වාහනේකට මේ පාරේ පයින් යනවට වඩා වේගෙන් යන්න බැහැනේ."
"ශික් විතරක් මේ රෙද්දේ අඩියෙන් අඩියට traffic නේ බන් පයින් ගියානම් මීට කලින් යන්න පුළුවන්."
"අඩෝ සමියා මං ටිකක් නිදියගන්නවා කොට්ටාවේදී ඇහැරවපන්."
ටිකක් ඇහැ පියාගත් මට වැඩිවෙලාවක් නිදාගැනීමට අවකාශ නොලැබුණි.ඩ්‍රයිවර් අයියා ගැසූ බ්රේක් පාරට දඩෝන් ගා මගේ ඔළුව ඉදිරිපස ඇසුණේ හැපුණි.
"ඩ්‍රයිවර් අයියාට ලයිසන් දීපු එකා විතරක් නෙවෙයි  අම්මා තාත්තා ඇතුළු හත්මුතු පරම්පරාවම බුදුවෙන්න ඕන ඒ බ්රේක් පාරටනම්. "
"ඇයි යකෝ මෙහෙමත් බ්රේක් ගහනවද?"
කවුරුවත් දකින්න ඇත්දෝයි හොරෙන් වටපිට බැලූ මම හෙමිහිට ඔළුව අතගාගත්තෙමි.
"මලා කවුරුත් දැක්කේ නෑ කියල හිතුවට අරකි දැකලා වගේ.. "
බස් එක තුළ හිටගෙන සිටි  ලස්සන කෙල්ලෙක් මා දිහා බලා සමච්චලයට මෙන් සිනාසෙනු දුටුවෙමි. "හත්තිලව්වයි දැන් ඉතිං අයෙමත් නිදාගන්න වෙන් නෑ , බැරිවෙලාවත් ඩ්‍රයිවර් අයියා ආයෙම බ්රේක් ගහනහැටි පුරුදුවෙන්න ගත්තොත්. ශික් වස නෝන්ඩියක් තමා උනේ ,ලස්සන කෙල්ලෙක් බලන් ඉන්න වෙලාවකටමනේ අපිටත් නින්දයන්නේ." මොනා උනත් ලස්සන කෙල්ලෙක්ය .දැන් මෙකි දිහා බලන්සිටිය හැකි නිසා නිදාගැනීමට අවශ්‍යතාවයක් නොමැත.
                         මම ඇය දෙස මද වේලාවක් බලාගෙන සිටියෙමි.ඇත්තටම ඇය ඉතා සුන්දර යුවතියකි.අපේ භාෂාවෙන් කියයිනම් පට්ටම කෑල්ලකි. මම ටික වේලාවක් එකදිගට ඇය දෙස බලා සිටියෙමි.කවුළුවෙන ඈත බලාසිටි ඇයගේ නෙතෙහි කළු ඉංගිරියාව ක්‍රමයෙන් මා සිටි දෙසට යොමුවනු දුටුවෙමි.මම වහාම වෙනත් අතක් බලාගත්තෙමි. ඈ වරින්වර හොරෙන් හොරෙන් මා දෙස බලනු මම දුටුවෙමි.මා වෙනත් පැත්තක් බලා සිටින වෙලාවල්වලදී ඇය එකදිගට මා දෙස බලා සිටියාය.මා එම දිසාවට හැරෙත්ම ඇය නැවතත් කව්ළුවෙන් අනන්තය බලන්නීය.මමද ඇගේ ඇස නොගැටෙන හැම විටකම ඈ දෙස බැලුවෙමි. ඇය මා දෙස හොරෙන් බලනු දැකීමෙන් මා විශාල වින්දනයක් ලැබුවෙමි.ඇයට මා දිහා බලන්නට ඉඩ සලසා මා බොහෝ වේලාවක් වෙනත් දෙසක් බලා සිටියේය. දෙදෙනාට දෙදෙනා අසුවුන විටදී මටමෙන් ඇයටද සිනහ පහළවිය.

 "මගේ ළඟ වාඩිවී සිටින එකා කණමදයා වගේ නිදිය.මාරු එකාටනේ මං මාව නැගිට්ටන්න කියල කිව්වේ. සමියාට ඩ්‍රයිවර් අයියාගේ මුස්පේත්තු බ්රේක් පහරටවත් ඇහැරුනේනම් නැත."
"අඩෝ සමිය නැගිටපන් යකෝ "
"ආහ.. ආහ.. අම්මටසිරි කොට්ටාවටත් ආවද බන් ,බහිමු බහිමු." තම බෑගය අතටගත් ඔහු හුනස්නෙන් නැගිට්ටේ බසයෙන් බැසීමටය.
"නෑ නෑ බන් තාම කොට්ටාවට ආවේ නෑ , කොට්ටාවට තව ගොඩක් දුරයි."
"එහෙනම් මොකටද පොල් බූරුවො මාව නැගිට්ටුවේ?  උඹේ %^$##**&%%" 
"ඇයි යකෝ මං තොට නේද මාව කොට්ටාවේදී ඇහැරවන්න කිව්වේ? දැන් උඹත් ඔහොම කණමදය වගේ නිදියගත්තම කව්ද යකෝ අපිව ඇහැරවන්නේ."
"හරි හරි බන් මේ බස් එක කොට්ටාවට විතරයිනේ යන්නේ ,කොන්ද අපිව ඇහැරවයි."
"හා හා ඒකට නෙවයි බොල මං තෝව ඇහැරෙව්වේ වෙන වැඩකට."
"ඒ මක්කටද බොල? මං ලස්සන හීනෙකුත් දැක දැක හිටියේ. Selena Gomez ඇවිත් මගෙන් කැමතිද කියල ඇහුව විතරයි, හෙනයක් ගැහුවා වගේ තෝ මාව ඇහැරෙව්වනේ ,නොදකින් විතරක් මූකලන්බස්ස"
"තෝ ඒ ඩිංගට හීනෙකුත් දැක්කද බොල?"
"ඔව් බන් ශික් අපරාදේ තෝ නිසා මට ඒකිට හා කියන්නත් බැරි උනා."
"එකනෙවේ යකෝ  බලපන් Selena Gomez වගේද අරය කියල." මම බලමින් සිටි කෙල්ලව සමියාට පෙන්නුවෙමි.
"අෆ්ෆටසිරි පට්ට කෑල්ල නේ බන් , ඔන්න මං තමයි මුලින් දැක්කේ .උඹ එහෙම එන්න එපා මේකට ලයින් කරන්න."
"ඇයි බොල හිවලෝ තෝ ඒකිව මට කලින් දැක්කේ හීනෙන්ද? මංනේ දැන් තොට ඒකිව පෙන්නුවේ.තෝ ආයෙම නිදාගෙන අර  උඹේ Selena Gomez ට හා කියපිය."
"ඒ කථා අදාළ නෑ එයා මගේ එච්චරයි."
"හාහ්... හා .. පලඩෝ යන්න , උඹ නිදාගත්තටිකේ මං ඒකිට ලයින් පාර දැම්ම දැන් ඒකි මං දිහා හොරෙන් හොරෙන් බලනවා."
"පල පල , කව්ද දන්නේ එකී බැලුවේ නිදාගෙන හිටිය මං දිහාද කියල .අපේ අම්මත් කියනවා නින්දගියාම මං හරි ලස්සනයි කියල."
"ඔව් ඉතිං උනහපුළුවටත් උගේ පැටිය මැණිකක්ලුනේ "
"මොනාද චමිලයෝ උඹ මුමුණන්නේ?"
"නෑ බන් මං මේ අහන්න ගියේ ඒක නිසාද උඹ කොයිවෙලත් නිදියන්නේ කියල ."
"ඒකනිසා නෙවෙයි යකෝ කොයිවෙලෙත් නිදියන්නේ නිදිමත නිසා."
"ඒක නෙවේ බන් සමියෝ එකිත් මං දිහා හොරෙන් හොරෙන් බලනවා. මාත් ටික ටික බැලුව. වැඩේ හරි වගේ බන් "
"උඹට පිස්සුද බන් ? එහෙම කෙල්ලෙක් බලපු පලියට කොහොමද බන් කැමතියි කියල හිතන්නේ? දැන් හැදෙන කෙල්ලොත් අපි වගේම තමා .දකින දකින හැම කොල්ල දිහාම බලනවා."
"හරි හරි බන් මෙකි එහෙම නෙවෙයි.බලපංකො සීදේවි කෙල්ල බන්."
"හරි හරි උඹ දැන් මොකද්ද කරන්න යන්නේ?"
"මං ඒකිට නම්බර් එක දෙනවා."
"ඉතිං දීපන් ,"
"හිටපන් මං කොලයක් ගන්නකම්. වැදගත් නොම්මරනේ බන් මේවා, නොම්මරේ දැක්ක ගමන් කෙල්ල කැමතිවෙනවා."
"ඔව් ඔව් බලන් හිටපන් කෙල්ල කමතිවෙනකම්.මතක ඇතුව උඹේ නමත් ලියපන් චමිල කියල."
"චමිල විතරක් නෙවෙයි බන් චමිල ගුණවර්ධන කියලම ලිව්වා. දැන් කොහොමද ඒකිට මේක දෙන්නේ...."
"නැගිටලා ගිහින් දීල වරෙන් "
"එහෙම දෙන්නත් බැහැනේ "

     මගේ වාසනාවට මෙන් වයසක ආච්චි කෙනෙක් බසයට ගොඩවැදුනි. මම වහාම නැගිට ඇය වෙත මාගේ අසුන පිරිනැමුවෙමි. 
"ඕනේ නෑ පුතේ මං ඊළඟ හෝල්ට් එකේ බහිනවා." නොදකින් විතරක් මේ ගෑනිට සීට් එක දුන්නමත් එපාලුනේ.
"කමක් නෑ ආච්චි වාඩිවෙන්න , ඔය වයසට ටික දුරක් උනත් හිටගෙන යන්න හොඳ නෑ."
කෙසේ හෝ ආච්චීව මගේ ඇසුණේ වාඩිකල මම නැගී සිටියෙමි.එක්වරම ඇය ළඟට ගොස් සිටගැනීම සුදුසු නැත.ටිකෙන් ටික ඇය සිටින දෙසට පිය නැගූ මම බස් හෝල්ට් තුනකට පමණ පසුව ඇය සිටි තැනට යාමට සමත් වුනෙමි.දැන් ඇය බිම බලාගෙනම සිටියි. මා දෙස නිකමටවත් නොබලයි.ටිකක් වෙලා බලාසිටි මම ඇයට තට්ටුවක් දැමුවෙමි.
"ආ නංගි," දෙකට තුනට නැමූ නොම්මරය ලියනලද කොලය මා ඈ දෙසට දිගු කළෙමි.
"මේ මොකද්ද අයිය?"
"ආපදා කළමනාකරණ අමාත්‍යංශේ නම්බර් එක නංගි , හදිස්සියක් උනොත් කථා කරන්න."
මඳ සිනහවකින් මා දෙස බැලූ ඇය සිනහවෙමින්ම කඩදාසි කොලය හෑන්ඩ් බෑගය තුළට දමාගත්තාය.
   ඇගෙන් දුරකථන ඇමතුමක් බලාපොරොත්තුවෙන් මම දින දෙකක් පමණ බලා සිටියෙමි.දින දෙකකට පසු නොදන්නා නොම්මරයකින් දුරකථන ඇමතුමක් ලැබුණි.මෙය නම් අනිවාර්යයෙන්ම ඇයගෙන් විය යුතුය. මම ඉහවහාගිය සතුටකින් යුක්තව එම ඇමතුම පිළිගත්තෙමි.
"හෙලෝ මේ චමිල ගුණවර්ධන අයියද කථා කරන්නේ?"
"ඔව් මම චමිල තමයි කියන්න "
"තොට ලජ්ජා නැද්ද යකෝ දකින දකින කෙල්ලන්ට ෆෝන් නම්බර් දෙන්න . මීටපස්සේ තෝ මගේ කෑල්ලට ලයින් කරලා අහුවුනොත් තෝව පණපිටින් දිව්‍යලෝකේ යවනවා දැනගනින්. උලමා, තෝ &^#^$#@#$^#@....................................."

රජයේ අවවාදයයි : කෙල්ලන් බැලීම හෘදයාබාධ ඇති කරයි.

Thursday 13 February 2014

වැලන්ටයින් තෑග්ග





"ඉතිං සුදූ , කොහොමද ඔයාට? මොකද කරන්නේ?" " ම්ම්ම්... මම හොඳින් අනේ මේ physics ටිකක් බලන්න ගත්තා , එපා වෙනවා අනේ මුකුත් තේරෙන්නේ නැහැනේ." "ඔව් අනේ මටත් එහෙමයි, එදා පංතියේ සර් කරපු කිසිම දෙයක් මට තේරුනේ නෑ . ඔක්කොම නිකන් ග්‍රීක් වගේ." "ඒක තමා මට මාර භයයි සුමුදු , ඒලේවලුත් එන්න එන්නම ලං වෙනවනේ ." "හ්ම්ම් මටත් ටිකක් භයනම් තමා , ඒත් ඉතිං භයවෙන්න එපා සුදූ , අපි කොහොමහරි ඔය බැරි පාඩම්ටික අල්ලගනිමු." "හ්ම්ම් ඒකතමයි මාත් බැලුවේ සඳුනිගෙන්වත් අහගන්න ඕන එයාට හොඳට physics පුළුවන් ." "ඔව් එයාගෙන් අහගන්න මාත් නිසලගෙන් ඔය ටික අහගන්නවා." "එකනෙවේ සුදූ , වැලන්ටයින් එකත් ළඟ ළඟම එනව නේද?" "හ්ම්ම් ඔව් ඉතිං මේ පෙබරවාරිනේ සුමුදු ." "හ්ම්ම් ඉතිං ඔයාට මොනාද එදාට මගෙන් ඕන?" "මට මුකුත් එපා අනේ ඔයාගේ ආදරේ තිබුනම හොඳටම ඇති." "එහෙම කියල බැහැනේ සුදූ , මේ අපි celebrate කරන පලවෙනි වැලන්ටයින් එකනේ ." "ම්ම්ම් අනේ මන්ද ඔයාට කැමති දෙයක් දෙන්න ඉතිං."
               මා ඇය හඳුනාගෙන වැඩි කාලයක් නැතත් මගේ සිත තුළනම් ඇය පෙම් පවුරු බැඳ බොහෝ කල්ය.. සචිනි මාගේ නෙත ගැටුණේ උසස්පෙළ පංති යන  මුල් වකවානුවේදීය. හැඩකාර හුරුබුහුටි තරුණියක වූ ඇයට නිරායාසයෙන්ම මාගේ සිත ඇදී ගියේය. සුදු ගවුමින් සැරසුනු ඇගේ වතට කරල් දෙකකට ගෙතු කොණ්ඩය ගෙනදුන්නේ අමුතුම ආකර්ෂණයකි.ස්කර්ට් බ්ලවුස් වලට වඩා සුදු ගවුමට ඇය වඩාත් හැඩයයි මට නිතර සිතෙයි. කෙසේවෙතත් ඇය නිතරම අනෙක් කෙල්ලන්ගෙන් විශේෂ කරතැබූ සංවරකමට  මා බෙහෙවින් ආදරය කළාය.පාසල් නිමවී බස්රථය තුළ  කෑකෝගසමින් කොල්ලන් සමග උසුළු විසුළු කරන කෙල්ලන්ට වඩා බිම බලාගෙන පාඩුවේ ගමන්කරන ඇය මා සිත් ගත්තාය.කෙසේ නමුදු මෙවැනි යුවතියක් ආදරය කිරීමට පොළඹවා ගැනීමනම් එතරම්ම පහසු කටයුත්තක් නොවිණි. ඈ මාගේ කරගැනීම සඳහා මා දරූ ප්‍රයත්න අනන්තය.කෙසේවෙතත් දැන් ඇය මාගේ වී හමාරය.
                        ඇය හා මා ආදරය කිරීමට පටන්ගෙන තවමත් මාස කිහිපයකි.මේ උදාවන්නේ අප දෙදෙනා විසින් සමරන ප්‍රථම ආදරවන්තයින්ගේ දිනයයි.එම නිසා ඇය වෙනුවෙන් වටිනා ත්‍යාගයක් ලබාදීම මාගේ යුතුකමයි.මගේ සමහර යහළුවන්නම් දැනටමත් තම ආදරවන්තියන්ට තෑගී මිලදීගෙන හමාරය. ඉන් බොහෝමයක්ම ඉතාමත් මිල අධික ඒවා විය. මේ දිනවල බොහෝමයක් වෙළඳසැල් valentine gift packs අලෙවි කරයි.නමුත් ඒවාද ඉතාමත් මිල අධික ඒවා විය.සචිනිට හොඳ තාතෑග්ගක්නම් අරන්දියයුතුමය. නමුත් ගැටළුව වන්නේ මුදල්ය.මා එතරම් මුදලක් මෙතරම් ඉක්මනට සොයාගන්නේ කෙසේද? ඇයට ත්‍යාගයක් නොදී සිටීමටද බැරිය.එවිට ඇය මා ලෝභයෙක් ලෙස සිතනු ඇත.ඇය කෙසේවෙතත් ඇගේ යහළුවන්නම් වැලන්ටයින් වලට ලැබුණේ මොනවාදැයි නිසැකවම ඇගෙන් විමසනු ඇත.එවිට මට අගේ යහළුවන් ඉදිරියේද ලැජ්ජාවීමට සිදුවනු ඇත.



             කලින් මාසයේද පංති කාඩ් නොගත් අතර අවසාන සතියේ සිදත් ලෙඩවීම හේතුවෙන් ඔහුගේ කාඩ් එකෙන් මට යාගත හැකි විය.එලෙස ඉතිරි කරගත් මුදල් වලින්ද දැන් මා ළඟ ඇත්තේ රුපියල් 500ක් පමණි. ඉන් වැඩි කොටසක්ම ෆෝන් එකට රීලෝඩ් දැමීම සඳහා වැයවිය. අම්මා මගේ ටියුෂන් පංති වලට අවශ්‍ය මුදල් සොයා දෙන්නේද ඉතාමත් අපහසුවෙනි. මෙතරම් මුදලක් කෙසේනම් ඇයගෙන් ඉල්ලන්නද?  ඉල්ලුවත් මා පවසන්නේ එය කුමක් සඳහායැයි  කියාද? ගිය මාසයේ මල්ලීගේ පාසලේ පහසුකම් ගාස්තු ගෙවීමට මුදල් නොමැතිව පියදාස මුදලාලිගෙන් ණයට මුදල් ඉල්ලාගත්තා මතකය.
                   දැන් ඒවා ගැන සිතීමෙන් පළක් වන්නේද නැත. කෙසේ හෝ මා සචිනිට හොඳ ත්‍යාගයක් අරන් දිය යුතුය. ඇය විවිධ සුවඳවල් ඇති සුවඳ විළවුන් වලට බෙහෙවින් ආශා කරන්නීය. එක එක දිනයට ඈ ළඟ එක එක සුවඳය. නෑදෑ හිතවතුන්ගෙන් තෑගී ලැබුණු ඒවා හා ඇය විවිධ අවස්ථා වලදී මිලදීගත් ඒවා ඇතුළත් විශාල විළවුන් එකතුවක් ඈ ළඟ පවතී.ඒ සියල්ලටම ඈ බෙහෙවින් ආශා කළාය.කෙතරම් සරළ ගති පැවතුම් ඇති යුවතියක් වුවද ඈ හට තිබූ හොඳ නොවනා එකම පිස්සුව එය වුවාය. town එක කඩයක අළුතින් ගෙනා perfume වර්ගයක් දැකගැනීමට හැකිවිය.එය සචිනිගේ එකතුවේ ඇති එකක් නොවන බවනම් මට හොඳටම විශ්වාසය.මන්දයත් ඇය ළඟදී perfume මිලදීගත් වගක් මා සමඟ පැවසුවේ නැති බැවිනි. ඇය තමා කරන කියන හැම දේම වගේ මා සමඟ පැවසීමට පුරුදුව සිටියාය.අලුතින් ඇඳුමක් පැළඳුමක් මිලදීගත්තද නිසැකවම මා සමඟ පවසන්නීය.වැලන්ටයින් එකට ඇයට දියහැකි හොඳම ත්‍යාගය එය වන්නේය. නමුත් එය මිලදීගැනීමට තරම් මුදලක් මා ළඟ නොවීය."අයියේ ඕවා ඉකමනටම විකිනෙනවද?" "නෑ මල්ලි මේවා ගණන් නිසා විකිනෙනවනම් අඩුයි, එත් ඉතිං වැලන්ටයින් ළඟ නිසා කොහොමවේවිද දන්නේ නෑ." "අයියේ අද advance එකක් දුන්නොතින් තියල තියන්න බැරිවෙයිද?" "advance කරලා ගියොත්නම් තියල තියන්න පුළුවනි එත් සතියක් ඇතුළත ඇවිත් අරන් යන්න වෙයි. මේ දවස්වල ඕවා market නිසා නිකන් තියන් ඉන්න එකේ තේරුමක් නෑ." " හරි අයියේ මං අද advance එකක් දීල යන්නම්, අනිවාර්යෙන් මේ සතිය ඇතුළත ඇවිත් ගන්නම්. " මා අතේ තිබූ රුපියල් 500 ඔහුට දී එම perfume බෝතලය වෙන්කර තැබුවේය.
        ඔහු එය තබා තිබූ රාක්කයෙන් ඉවත් කර වෙනම තැනක තබනු මම දුටුවෙමි.අම්මා බස් එකේ යාමට දුන් මුදල් සහ දවල්ට නොකා ඉතිරි කරගත් රුපියල් දෙතුන්සීයක් පමණක් මා ළඟ ඉතිරි වී ඇත.කෙසේවෙතත් තවත් රුපියල් දහසක් පමණ මා සොයාගතයුතු වන්නේය."අම්මේ exam එකත් ළඟ ළඟම එනවනේ සර්ලා හැමෝම කියනවා විවරණ පොත් අරන් කරන්න කියල.ඒවගෙන් ගොඩක් දැනුමවැඩිවෙනවලු " "ඇත්තද ලොකු පුතේ ඉතිං ඒ පොත් හුඟක් ගණන්ද?"  "ඔව් අම්මේ එක පොතක් රුපියල් 400ක් විතර වෙනවා.එක්කෙනෙක්ට ඔක්කොම අවුරුදුවල ඒවා ගන්න බැරිනිසා අපි බැලුවේ කට්ටිය එකතුවෙලා එක එක අවුරුදුවල පොත් අරන් මාරු කරගන්න." උසස්පෙළ විවරණ පොත් ටිකක් මා හට ලබාදෙන බව දිනිත් අයියා පැවසුවාය.ඔහු මෙවර ඉංජිනේරු පීඨයට සමත් වූ අතර ඔහුට සහෝදර සහෝදරියන් නොමතිනිසා ඒවා මාහට ලබාදීමට තීරනයකරනලදී.එම පොත්ටික අලුතින් මිලදීගත් ඒවා ලෙස අම්මාට පෙන්විය හැකිය."ලොකුපුතේ දැන් ඔය පොත්ටික ගන්න කීයක්විතර ඕන වෙයිද?" "1000ක් විතර තිබුණොත් ඇතිවෙයි අම්මේ." " රුපියල් 1000ක් ?" අම්මාගේ ඇස් ලොකුවනු මම දුටිමි. "කොහේ තියන සල්ලිද ලොකුපුතේ අර පෙරේදා  විකුණපු කෙහෙල්කැන් ටිකේ සල්ලිනම් ඊයේ හම්බුනා මං එක තියාගෙන හිටියේ පොඩි කොලුවට සපත්තු දෙකක් අරන් දෙන්න.කොල්ලගේ සපත්තුදෙක හොඳටම කැඩිලනේ " පොඩි මල්ලිගේ සපත්තු දෙක හොඳටම කැඩී තිබෙනු මමද දුටුවෙමි.එය කිහිපවරක්ම හන්දියේ සපත්තුමහන්නා ලවා මැස්සවූ අතර හැමතැනින්ම මැහුම් පාරවල් ගැසූ එහි දැන් මැහුමක් ගැසීමටවත් තැනක් සොයාගත නොහැකිතරම්ය.
       සචිනිට ත්‍යාගයක් දීමට වඩා මල්ලීට සපත්තු දෙකක් අරන්දීම වඩාත් අවශ්‍ය කාර්ය වන්නේය.නැතහොත් ඔහුට තව මාස දෙකතුනක් ඔය කැඩුණු සපත්තු කූට්ටම පැළඳ පාසල් යන්නට සිදුවනු ඇත.පොඩි මල්ලී ඉතාම අහිංසකය.අම්මා අපිව නඩත්තු කිරීමට ගත වෙහෙස දැනසිටි ඔහු කෙදිනකවත් අම්මාගෙන් අලුත් සපත්තු නොයිල්ලුවෙය.ගල් ඇණි ඇණි හෝ කැඩුණු සපත්තු කූට්ටම දමාගෙන පාසල් ගියේය.දෙවියනේ , මා කිරීමට යන්නේ කොතරම් වැරද්දක්ද? ඒ අහිංසකයාට සපත්තු කූට්ටම ගන්නට තිබූ මුදල බොරු කියා අම්මාගෙන් වංචා කරගැනීම නොවේද? කොහෙවත් සිටින කෙල්ලෙක්ට තෑගී අරන්දීම සඳහා එකකුසේ උපන් මල්ලීගේ සතුට නැතිකළ හැකිද?ඇත්තටම මට කළයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිය.නමුත් මේ යුතු අයුතුකම් ගැන සිතාබැලීමට කාලයක් නොවේ.කෙසේ හෝ මා දින හතක් ඇතුළත රුපියල් දහසක් සොයාගත යුතුය.මාගේ ආදරවන්තියට වැලන්ටයින් වෙනුවෙන් ත්‍යාගයක් ලබාදිය යුතුමය. "එත් අම්මේ exam එක හොඳටම ලඟයිනේ , මේ පොත්ටිකනම් මට කොහොමහරි ගන්න වෙනවා. " "එහෙමද හා කමක් නෑ එහෙනම් මම අර සල්ලි ටික ලොකුපුතාට දෙන්නම් මල්ලිට පස්සේ සපත්තු දෙකක් අරන් දෙන්න බැරිය."
                     එදින මා අතට මුදල් ලැබුණු අතර පසුදින මා වෙළඳසල වෙත ඉගිලී ගියේ වෙන්කරවා තබනලද  perfume බෝතලය මිලදී ගැනීමටය."අයියේ ඕක ලස්සනට pack කරලම දෙන්න ." උදාවූයේ වැලන්ටයින් දිනයයි මා වෙනදා පුරුදු තැනදීම සචීව මුණගැසුනි."ඔයාට සුභම සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා සුදූ." "ඔයාටත් එසේම වේවා සුමුදු." "බලන්නකෝ සචී මං ඔයාට මොනවද ගෙනාවේ කියල." "ඔයා මට තෑගිත් ගෙනාවද සුමුදු? ඔයාට කොහෙන්ද අනේ මේවට සල්ලි?" "ඒකෙන් වැඩක් නැහැනේ ළමයෝ බලන්නකෝ මේක හොඳඳ කියල.""ම්ම්ම්ම්...  මෙතන කඩන එක හරි නැහැනේ මං ගෙදර ගිහිල්ලම බලන්නම්." "හ්ම්ම්ම් " ඇයද මා හට ත්‍යාගයක් ගෙනවිත් තිබුණි.ගෙදරට පැමිණ කාමරයේ දොර වසාගත් මම වහාම ඇය දුන් ත්‍යාගය විවෘත කළ බැලුවෙමි.එහි වූයේ අලංකාර අත් ඔරලෝසුවකි.ඒ සමඟ අමුණා තිබූ ලියුමක්ද විය.


මගේම ආදර සුමුදු වෙත,
   මං ඔයාට ගොඩාක් ආදරෙයි සුමුදු.ඔයත් මට ඒ වගේම ආදරෙයි කියල මං දන්නවා.ඒක වැලන්ටයින් දවසට විතරක් සීමාවුණු එකක් නෙවෙයි මං ඔයාට අවුරුද්දේ හැම දවසකම එක වගේ ආදරය කරනවා.ඔයත් එහමයි කියල මං දන්නවා.මට වැලන්ටයින් එකට තෑග්ගක් දෙන්න තරම් ඔයා අතේ සල්ලි නැතුවැති.මං ඔයාගෙන් කවදාවත් තෑගී බලාපොරොත්තුවෙන්නේ නෑ සුමුදු. මගේ ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග තමයි ඔයා,  ඔයාගේ ආදරේ ඒ ලැබුණු තෑග්ග මට හොඳටම ඇති.මට තෑගී දෙන්න සල්ලි හොයන්න ඔයා මහන්සිවෙන්න එපා.ආදරේ කියන්නේ ටොෆි , චොකලට් , තෑගී වලින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒක තියෙන්නේ ආදරය කරන කෙනාගේ හිත ඇතුළේ , ඒ ආදරේ කොච්චරද කියල තේරුම්ගන්න පුළුවනුත් එයාට ඒ විදියටම ආදරේ කරන කෙනෙකුට විතරයි.අද වැලන්ටයින් කියන්නේ කඩකාරයන්ගේ බිස්නස් සරු කරන දවසක් විතරයි සුමුදු.වෙනද අඩුවට ගන්න දේවල් වැඩි මුදලක් ගෙවල එදාට අපි ගන්නවා.තෑගී වලින් කවදාවත් ආදරේ මනින්න බෑ සුමුදු.මට තෑගී දුන්නනත් නැතත් මම ඔයාට ගොඩාක් ආදරෙයි සුමුදු.ඔයාටත් සුභම සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා.         
 මේ ඔයාගේම ආදර
සචිනි