කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

Friday 31 January 2014

මල් පොකුරක මලක්ද මම ?



මුව මදහස සඟවාගෙන 
නෙත් කැලුමන්  විදහාගෙන 
නෙක ඉඟි බිඟි පා කරමින
මුකුළු කළේ මට විතරද?

යන එන මඟ ගැවසී සිට 
මා එන තෙක් කල් බලමින
නොයෙක් පිඹුරුපත් සදමින
මුකුළු බැලුවේ මගෙ පමණද?

මගෙ උරහිස පිරිමඳිමින 
ළමැදේ  හිස සතපවමින 
බොළඳ වදන් තෙපලූයේ
සඳවතියේ මට පමණද?

උරහිස නුඹෙ පිරිනමමින 
ළමැදේ උණුසුම බෙදමින
වදන් බොළඳ කරවූයේ

කුමරාණනි මගෙ පමණද?                                                                                                                          

හිරු අහසේ ගිලෙනා විට
මූදු රැල්ල හාදු බෙදන 
වෙරළ කොනින් ඇවිද ගියේ 
සොඳුර මා සමඟ පමණද?

හිරු අවරට යන්නට පෙර 
සයුරු රැල්ල පාගන්නට
මුහුදු වෙරළෙ තනිවෙන්නට 
එක්ක ගියේ මා විතරද?   

කාගේ මුකුළු මා බැලුවත් 

කා සමඟින් පියමැන්නත්
මේ දෙනෙතට කඳුළු ඉනුවෙ
නුඹ මා හැර ගිය දිනදිය.......                                             



Friday 24 January 2014

තරූ(අවසාන කොටස )




 << කලින් කොටසට                                                    තරූ හා දිලුම්  එසේ  පෙම්වතුන්  බවට  පත්වුවද  දමිතටනම්  තරූ  හැර  වෙනත්  යුවතියක්  දෙස  බැලීමටවත්  සිතක්  නොතිබුණි. ඔහු  තම  අහිමි  පෙම  තුළම  සිරවී  වේදනා  විඳින්නට  විය.  දමිතගේ  මුළු  ජීවිතයම  වූයේ  තරූය. ඔව්  ඇත්තටම  ඇය  ඔහුගේ  මුළු  ලෝකයම  විය. නමුත්  තරූ  ගන්නා  ලද  තීරණයෙහිද  වැරැ ද්දක්  කිව  නොහැකිය. හැමදාමත්  රණ්ඩුවෙමින්  ආදරයක්  පවත්වාගෙන  යාමට  හැකිද? සුදුසුම  දේ  අකමැත්තෙන්  නමුත්  එය  නවතා  දැමීමය.  නමුත්  දමිත  තරූ  නැති  සොවින්  දිවා  රෑ  වැළපුණේය.  අධ්‍යාපන  කටයුතු  සියල්ලක්ම  පාහේ  අතපසුකරගත්තේය.  ඔහුගේ  ජීවිතයම  අපායක්  බවට  පත්වීමට  වැඩි  කාලයක්  ගත  නොවීය. ඔහු  දිවා  රෑ  තරූ  ගැන  සිතමින්  දුක්වුණේය.
                                                    මේ අතර තරූ  දමිත  වෙනුවෙන්  කැප  කර  තිබූ  ඇයගේ  ජීවිතය  දිලුම්  වෙනුවෙන්  කැප  කළාය.  ඇය  මුළු  හදවතින්ම  ඔහු  හට  ආදරය  කරන්නට  පටන්ගත්තාය. තම  මුළු  ජීවිතයම  දිලුම්  කරගත්තාය.  දිලුම්ද  තරූට  පණමෙන්  ආදරය  කිරීමට  පටන්ගත්තේය. අතීතයෙහි  අමිහිරි  මතක  අමතක  කරමින්  දෙදෙනාම  තම  ජීවිත  වලට  නැවුම්  ආරම්භයක්  ලබාදුන්නාහ.  නමුත්  දමිතගේ  ජීවිතය  දුකිනුත්  දුකටම  පත්වන්නටවිය.  ඔහුගේ  යහළුවන්  හිතවතුන්  කොපමණ  උත්සාහ  කළද  දමිත  නැවතත්  තම  හුරු  පුරුදු  දමිත  බවට  පත්  කරගැනීමට  ඔවුන්ට  නොහැකිවිය.  තරූ දිලුම්  සතු  වූ බව  දැන  දැනත්  ඔහු  තරුට  වෙනදා මෙන්ම  ආදරය  කළේය.
                                                 කාළය  බොහොමයක්  ප්‍රශ්නවලට  විසඳුම්  ලබාදෙන්නේයැයි  බොහෝ  දෙනා ප්‍රකාශ  කරති.  ඒ  කල්ගතවනවිට  අපට බොහෝමයක්  දේ  අමතක  වන  නිසා විය  යුතුය. දුක  සතුට  , සිනහව  කඳුළු  මෙන්ම  ආදරය  විරහවද  කල් ගතවනවිට  අපේ  මතකයෙන්  ඈත්  වියහැකිය.  අප  සිතට  වදදෙන  බොහොමයක්  ප්‍රශ්න  ගැටළු  කාලයත්  සමඟ  අමතකවීයයි නැතහොත්  එයට  වඩා ලොකු  ප්‍රශ්නයක්  කාළය  අපවෙත  රැගෙන  එයි. ඇත්තෙන්ම  විසඳුම්  සෙවිය  නොහැකි  බොහෝ  ප්‍රශ්නවලට  විසඳුම්  සෙවීමට  කාලයට  භාරදීම  වඩාත්  සුදුසුයැයි  මා පවසන්නේ  එම  නිසාය. කාළය  සමඟ  වෙනස්වන  බොහෝ  දේ  සමඟ  මිනිස්  සිතද  නිසැකයෙන්ම  වෙනස්වෙයි. දිනිතිගේ  සිතද  මේ  ආකාරයෙන්ම  වෙනස්  වී තිබුණි.  ජීවිතයේ  කෙතරම්  ප්‍රේමයන්  තිබුනද  කොතෙක්  සුන්දර  යුවතියන්  තමන්ට  පෙම්කලද  , පළමු  පෙම  තරම්  මිහිරි  පෙමක්  නොමැතිබව  බොහෝදෙනා   පවසන්නකි.  තරූ  කෙතරම්  දිලුම්ට  ආදරය  කළද  දිලුම්  නැවතත්  තම  පළමු  පෙම්වතිය  කරා  ඇදී  යන්නට ඇත්තේ ඒ නිසා  විය යුතුය.  කෙසේ  වෙතත්  ඔහුට  මුලින්ම  ආදරය  කියාදුන්නේ  ඇයයි  ,  ජීවිතය  කියා දුන්නේ  ඇයයි . එම  ආදරයට  ඔහු  අන්  සියල්ලකටම  වඩා  ආදරය  කළේය.  මේ නිසා  තරූට  දිලුම්ද  අහිමිවිය.    
                                                       තරූට  මෙය  අදහාගනීමටවත්  නොහැක්කක්  විය. ඇය පණමෙන්  ආදරය  කළ  දිලුම්  ඇය  හැරදා යාවියැයි  ඇය  කිසිදිනකවත්  නොසිතුවාය.  තරූට  තමාගත්  තීරණය  වැරදිබව  අවබෝධවන්නටවිය.  බොහෝ  අය  අන්‍යන්ගේ  දුකට  සිනහවෙයි, එම දුක්  සමඟ  ඔච්චම්කරයි. නමුත්  එම  දුක කෙසේදැයි  තේරුම්යන්නේ  තමාද  එවැනිම  දුකකට  පත්වූ  පසුවයි. තරූටද  කෙමෙන්  කෙමෙන්  ආදරයේ  වේදනාව  දැනෙන්නට  පටන්ගත්තාය. තමා  දමිතව  හැර  ගිය  මොහොතේ  ඔහුටත්  මෙවැනිම  වේදනාවක්  දැනෙන්නට  ඇතැයි  ඇයට  සිතුණාය. ඇත්තටම  ඇය  ජීවිතය  කෙරෙහි  බොහෝ  සෙයින්  කලකිරුණාය. කෙනෙක්ගේ  සිනහවක්  තවත්  කෙනෙකුට  කඳුළක්  වනහැටි  හරිම පුදුමය.  තමාට  ඇත්තටම  ආදරය  කළේ  කවුරුන්ද  යන්න  ඇයට  හරිහැටි තේරුම්ගැනීමට නොහැකිවිය. එය  තේරුම්ගන්නාවිට  බොහෝ  දේ  සිදුවී  හමාරය.
                                                   ආදරය යනු  ගැලපීම  නොවෙයි,  ආදරය  යනු  විශ්වාසය  නොවෙයි, ආදරය  යනු  තේරුම්ගැනීම  නොවෙයි.  ආදරය  යනු  ආදරයයි. එය  වෙනත්  කිසිදු  වචනයකට   සමාන  කළ  නොහැක. ආදරය  යනු  ගැලපීම , විශ්වාසය, තේරුම්ගැනීම  අඩු  වැඩි  වශයෙන්  එකතු  වූ ආදරයෙන්  හා සෙනෙහසින්  පිරුණු  අපූරු  බැඳීමකි.ගැලපීමට  වඩා අවශ්‍යවන්නේ  එකිනෙකා හොඳින්  තෙරුම්ගැනීමයි. විශ්වාසය , ආදරය  සමබරව  පවත්වාගෙන  යා යුතු  අතර  මේවා  අඩු වූ විට  මෙන්ම   ඕනෑවට  වඩා වැඩි  වූ විටද  ආදරය  දෙදරා යා හැකිය. ආදරය  යනු මේ  සියල්ලම  සමබරව  තබාගෙන   ඒ දණ්ඩක  ගමන්  කරනු  වැනිය. සමබරතාවය  ගිලිහීම  යනු  ආදරය ඔබෙන් ගිලිහී යාම වන්නේය.
                                                කෙසේ වෙතත්  තරූ  නැවතත්  තීරණයක්  ගත්තාය. ඒ යළි  කිසිම  දිනක  වෙනස්  නොවන  තීරණයකි. සදාකාලික  තීරණයකි. ඒ නැවතත්  දමිත සොයා යෑමයි.  නමුත්  නැවතත්  දමිත වෙත  යන්නේ  කෙසේද?  ඇය  තම  පණටත්  වඩා දිලුම්ට  ආදරය  කළාය. දිලුම්ගේ  කථාවට  හැසිරීමට  , දමිතට  වඩා ඇය  ආශා කළාය.  ප්‍රිය  කළාය. නමුත්  ඒ සියල්ලටම  වඩා දමිත  ඇයට ඇත්තටම  ආදරය  කළාය. තමා  ආදරය  කළ  යුත්තේ පෙරළා  තමන්ටද  ආදරය  කරන්නෙකුට  බව  ඇය වටහාගත්තාය. ඔහු  කෙතරම්  යහපත්  උනද කෙතරම් ගැලපුනද  තමාට  ආදරය නොකරන්නේනම් ඔහුගෙන්  පළක්  නොවන්නේය.  නමුත්  දමිත  නැවතත් තමාව  පිළිගනීවිද?  තමාව  හැරදා ගිය ඇය, තමාගේ  දිවියම  අඳුරු  කළ  ඇය, තමා දුකින්  හඬා  වැටෙද්දී  වෙනකෙක්ට  පෙම්බැඳි  ඇය , යලිත් පිළිගන්නේ  කෙලෙසද?  තමාට  කෙතරම්  එරෙහිවුවද  දමිත  තවමත්  තරූට  පණමෙන්  ආදරය  කළේය.තමන්ගේ  ආදරය දෙදරායාම  කෙරෙහි  තමාගේ  සැකය , අනුවණ  ක්‍රියාකලාපය  මූලිකම හේතුව වූ බව  ඔහු හොඳින්ම දැන සිටියාය.ඔහු  නවත්ත  තම  හදවතේ දොරටු  තරූ වෙනුවෙන් විවෘත  කළේය. මුළු  හදවතින්ම  ඇයව  පිළිගත්තේය. තරූද  නැවතත්  තම  මුළු  ජීවිතයම  දමිතට භාරකළාය.සුපුරුදු  පරිදි  ඔවුන්  දෙදෙනා  නැවතත්  පරම  පිවිතුරු  ආදරයේ  හවුල්කරුවන්  බවට පත්වූහ.

                                                කාළය  ගෙවී  ගියේය. නමුත්  නැවත  දිනිති  තම  ප්‍රේමයට  තිත තැබීම හේතුවෙන් දිලුම්  තරූ  සොයා පැමිණියේය. නමුත්  යළි  කිසිමදිනක  කිසිමකෙනෙකුට  ඇයව  දමිතගෙන්  වෙන්කළ  හැකිනොවනු  ඇත. තරූගේ  ආදරය  නොලැබුණු  දිලුම්  මෙසේ  ප්‍රකාශකර  තිබුණි. "කෙල්ලන්ට  ආදරේ  කියන්නේ හැගීමක්  විතරයි , ඒක  මායාවක්, කොල්ල එකට මෙල්ල වෙනවා ,ඒක  ආදරේ  කියල හිතනවා." ඇත්ත  ආදරය යනු හැගීමකි, නමුත් එම හැගීම ජීවිතයම  කරගත්තවුන් සදාකාලික පෙම්වතුන්වෙති. නමුත් වැඩිකල් ගතවන්නට මත්තෙන්ම  දිලුම්  තවත්  යුවතියක්  සමඟ  ආදරයක්  ඇති කරගෙන තිබුණි.

                                          ජීවිතය යනු නිරන්තරයෙන් වෙනස්වන මාවත් ඔස්සේ නොවෙනස්ව ගමන් කිරීමකි. අප තදින් පෙම්බඳින්නවුන් බොහෝවිට අපිට පෙම් නොකරති. සමීපතමයකුගේ සුළු අත්වැරැද්දක් , අතපසුවීමක් අපට බොහෝ වේදනා ගෙනදෙයි. නමුත් ඔහුගේ හෝ ඇයගේ තැන සිට එම ප්‍රශ්නය දෙස බැලූකළ අප කරන්නේද එම දෙයම වියහැක. තමන්ට ආදරය කරන්නන්ගේ සුළු සුළු වැරදිවලට කෝප නොවන්න. මන්දයත් එසේවන්නේ ඔවුන් ඔබට ආදරය නැතිකම නිසා නොව ආදරය වැඩිකම නිසාය. කිසියම් ගැටළුවක් දෙස තමාගේ පසින් පමණක් බලා තීරණවලට නොඑලබෙන්න, හැමපැත්තෙන්ම එම ගැටළුව දෙස බලා වඩාත්ම සාධාරණ තීන්දුව ලබාගන්න. කිසිවිටෙකත් තීරණ ගැනීමට හදීසි නොවන්න. ඉවසීමෙන් සුදුසුම තීරණයට පිවිසෙන්න. ආදරයේදී ආත්මාර්ථකාමී නොවන්න, හැමවිටම පරාර්ථකාමී වන්න. මම , මට වඩා අපි , අපිට යන්න බලවත්බව වටහාගන්න. එවිට දමිතටත් තරූටත් සිදුවූ දේ යළි ඔබටත් මටත් සිදු නොවනු ඇත.                                                                                                                                                                         -සමාප්තයි-




Friday 17 January 2014

තරූ (හතරවන කොටස )


<< කලින් කොටසට 
තමාට හැකි සෑම අයුරකින්ම දිනිතිගේ වෙන්වීම නවතා ගැනීමට දිලුම් උත්සාහ කළේය. නමුත් එම කිසිම දෙයකින් පලක්නම් වූයේ නැත. කෙතරම් කළ නොහැකි කාර්‍යයක් වුවද ඇයගේ ජීවිතයෙන් ඈත්වීමට ඔහුට සිදුවිය. දිලුම් සමඟ කථාකිරීම පමණක් නොව ඔහුගේ sms වලට reply කිරීම පවා මේ වනවිට දිනිති විසින් නවතා තිබුණි. දිලුම්ට කරකියාගනීමට දෙයක් නොවීය , ඔහු සැබවින්ම අසරණවිය . ඔහුට මේ දුක දරාගැනීමට තරම් දැඩි හිතක් නොවීය. ඔහු මේ ප්‍රශ්නය හේතුවෙන් දැඩි මානසික පසුබෑමකට ලක්විය.

                                  දිලුම් හැමවිටම බලාගත් අත බලාගෙන කල්පනා කරන්නටවිය. සරසවියේ වැඩකටයුතුවලට තිබූ උනන්දුව නැතිවී ගියේය. ඔහු සරසවියට පැමිණියේද ඉදහිටය. බොහෝවිට ඔහු සරසවි පැමිණියේ සතියකට දවසක් හෝ දෙකකි. තම හොඳම මිතුරාගේ මෙම වෙනස්වීම තරූට දරාගත නොහැකිවිය. ඇය තමන්ට හැකි සෑම අයුරකින්ම ඔහුව අස්වැසීමට උත්සාහ කළේය. නමුත් ඒ කිසිමදෙයකින් පළක්නම් නොවීය. ඔහුට දිනිති නැති අඩුව කිසිසේත්ම දරාගත නොහැකිවිය.

                                    මේ අතර තරූට වෙනදාමෙන් දමිත ගැන සොයාබැලීමටද අමතකවිය. campus ගිය දිනසිටම තරූ තමන්ගෙන් ටිකින්ටික ඈත්වීම පිළිබඳව දමිතද සිටියේ බොහෝ කණස්සල්ලෙනි. වෙනදාමෙන් ඔවුනට මුණගැසීමට වේලාවක් නොවීය. දුරකථනයෙන් කථාකිරීමට ලැබුණු අවස්ථාද අල්පවිය. සරසවියේ assiments , exams අතර සිරවූ තරූට වෙනදාමෙන් දමිතගේ ළඟින් සිටීමට නොහැකිවිය. ඇත්තටම ඒ ඇය ඔහුට ආදරය නොකළ නිසා නොවේ. වැඩ අධික වූ විට තම ආදරවන්තයා ගැන සොයාබැලීමට පවා වේලාවක් නොමැතිවීමයි. මෙය වූ කලී වෙනත් විශ්වවිද්‍යාල දෙකක ඉගෙනුමලබන බොහෝමයක් පෙම්වතුන්ට පොදු වූ ගැටළුවකි. Exams ළං වූ විට assiment deadlines ළං වූ විට ඔවුනට ඒවා ගැන සිතීම හැර වෙන කිසිදු දෙයකට අවදානය යොමු කිරීමට හැකිනොවෙයි. දිනකට තුන් හතර වතාවක් ඇතිවන දුරකථන සංවාද එකකට හෝ දෙකකට සීමාවෙයි. සමහරවිට දිනකට එකවරක් හෝ කථා කිරීමට කාළය නොමතිවීයි.

                                    මෙවැනිදේ සිදුවන්නේ කෙනෙක් අනෙකාට ඇති ආදරයේ අඩුවීමක් නිසා නොව අධ්‍යාපන කටයුතු සමඟ කාර්යබහුල වූ විට ඇත්තටම අනෙකා ගැන සොයාබැලීමට කාලයක් නොමැතිවීම නිසාය. නමුත් දුරින් සිටින තම පෙම්වතා හෝ පෙම්වතියගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය අඩුවීම , sms ප්‍රමාණය අඩුවීම කිසිසේත්ම අනෙක් පාර්ශවයට දරාගත නොහැක්කක් වන්නේය. එමනිසා ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සැක කිරීමට පටන්ගන්නා අතර මෙය බොහොමයක් පෙම්කථා බිදී යාමේ ආරම්භය වන්නේය.තරූ සහ දමිත අතර ඇති වූයේද මෙවැනිම ගැටළුවකි. වෙනදා මෙන් තරූ call නොකිරීම , දමිතගේ call වලට answer නොකිරීම ,sms වලට reply කිරීමට බොහෝ වෙලා ගතවීම වැනි කරුණු නිසා දමිත සිටියේ දැඩි කලකිරීමෙනි. එමනිසා මෙම සියළුම වැරදි වලට බැනවැදීමට දමිත , තරූ දවසටම ලබාදෙන එකම දුරකථන ඇමතුම යොදාගත්තේය. නමුත් මෙය exam ,assiment පීඩනයෙන් මිරිකී සිටි තරූගේ මනස තවත් අවුල්කරන්නක් විය. දවස මුළුල්ලේම නීරස අධ්‍යාපන කටයුතුවල යෙදෙන ඇය එක්වරක් හෝ දමිතට call කරන්නේ කිසියම් සැනසීමක් ලබාගැනීමේ අභිප්‍රායෙනි , නමුත් එවිට ඔහුද තමා සමඟ රණ්ඩු කිරීමට පටන්ගත්විට ඇය තව තවත් අපහසුතාවයට පත්වන්නටවිය. මේ හේතුව නිසාම වැඩි දිනක් යන්නට මත්තෙන්ම තරූට දමිතව එපාවන්නට විය.

                                     මෙම ප්‍රශ්න කෙසේ හෝ යටපත්කරගනිමින් තම ආදරකතාව ඉදිරියට ගෙනගියද තරූ දිලුම්ගේ ප්‍රශ්නවෙනුවෙන් වැඩිපුර කාලයක් යෙදවීම දමිතගේ අප්‍රසාදය තව තවත් වැඩි කරන්නක්විය. ඇත්තටම කුඩා කලසිටම දෙමව්පියන් නොමැතිව හැදී වැඩුණු දිලුම් විශ්වවිද්‍යාලය කරා පැමිණ තිබුනේ බොහොමයක් බාධක මැඩගෙනය . කිසිවකුගේ ආදරයක් හෝ සෙනෙහසක් නොමැතිව වැඩුණු ඔහුට ජීවිතයේ තිබූ එකම අස්වැසිල්ල වූයේ දිනිතිගේ ආදරයයි. ඇයද හිටිහැටියේම තමා අතහැර ගියවිට නැවතත් තමා මෙලොවෙහි තනි වූ බව දිලුම්ට දැනෙන්න්ටවිය. ඉතිං මෙතරම් දුකින් පසුවන තම හොඳම මිතුරාව තරූ කෙසේනම් අතහැර දමන්නද? අනික ඔහු ඇයට කොතෙක්නම් උදව් කර ඇත්ද? කෙසේ වෙතත් තරූ හා දමිත අතර තිබූ ප්‍රශ්නද කෙමෙන් කෙමෙන් වැඩි වන්නටවිය. දමිත call කළ හැමවිටකම තරූ සමඟ රන්දඩුකළේය. ඇතිවූ සෑම හමුවීමක්ම කෙළවර වූයේ සිත්තැවුලකිනි. තවදුරටත් මෙම සම්බන්ධය පවත්වාගෙනයාම අපහසුබව වැඩිකල් නොගොස්ම තරූට අවබෝධවිය. සිව්වසරකට අධික තම ප්‍රේමවෘතාන්තයට නැවතීමේ තිත තැබීමට ඇය තීරණය කළාය.

කෙතරම් රන්ඩුකළද දමිතට තම පෙම්වතිය නොමැතිව මොහොතක්වත් සිටිය නොහැකිවිය. ඔවුන් අතර ඇතිවූ සෑම රණ්ඩුවකටම හේතු වූයේ ඔහු ඇයට සිය පණටත් වඩා ආදරය කිරීමයි. තරූ හා දිලුම් ගැන සැකයක් ඔහුගේ මනසට ආවේද ඔහු ඇයට අසීමිතලෙස ආදරය කලනිසාවෙනි. කෙසේ වෙතත් තරූ මෙම සම්බන්ධය නතර කිරීමට තීරණය කිරීමෙන් සිදු වූයේ දමිතගේ සැකය තව තවත් තහවුරුවීමකි. නමුත් ඇත්තටම තරූ හා දිලුම් අතර එවැනි සම්බන්ධයක් නොතිබුණි. තිබුණේ හොඳ යාළුකමක් පමණකි. නමුත් අවසානයේ තරූ හා දිලුම් යන දෙදෙනාටම අයිති වූයේ එකම ඉරණමකි. දෙදෙනාම ජීවත්කරවූ ආදරය දෙදෙනාටම අහිමිවී තිබුණි. මෙමනිසා තරූට සිය දුක පැවසීමට සිටියේ දිලුම් පමණකි. දිලුම්ටද එසේමවිය. මේ හේතුව නිසාදෝ තරූ හා දිලුම් අතර තිබූ සමීපබව ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. දෙදෙනා අතර වෙනදාට වඩා අදහස් හුවමාරුවිය. තමා හා දිලුම් අතර බොහොමයක් සමානකම් පවතිනබව තරූට අවබෝධවන්නටවිය. ඇත්තටම මෙය දිලුම්ටද අවබෝධවී තිබිණි. කෙමෙන් කෙමෙන් වර්ධනය වූ මිතුදම ආදරයකට පෙරලීමට වැඩි කාලයක් ගත නොවුණි. වැඩිකල් නොගොස්ම දෙදෙනාම හොඳ පෙම්වතුන් බවටපත්විය. නමුත් මෙයින් අවසානයේදී හෝ දමිතගේ සැකය ඇත්තක්බවට පත්විය.

                     -මතු සම්බන්ධයි-                       ඊළඟ කොටසට >>