කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

Tuesday 31 December 2013

තරූ(තුන්වන කොටස )


                                "මට ABB  ඔයාට කොහොමද?" "මට A 3 ක් තියනව සුදූ."  "ෂා නියමයිනෙ ඔයාට එහෙනම් මොරටුවෙ යන්න පුළුවන් නේද දමිත?" "පුළුවන්නම් තමයි ඒ උනාට මම යන්නෙ නැහැ තරූ." "ඇයි ඒ ?" "මම යන්නෙ ඔයා යන campus එකට, මට ඔයා නැතුව ඉන්න බැහැ තරූ."  "පිස්සු වැඩ කරන්න එපා ළමයො ඔයා කොච්චර මහන්සි උනාද ඔය  result  එක ගන්න.A තුනක් තිබිලත්මොරටුවෙ නොගිහින් ඉන්න?, මේ අහන්න දමිත, මම හැමදාම හීන දැක්කෙ අපි දෙන්න ඉංගිනියර්ස්ල වෙනව බලන්න,මට ඒක බැරි වෙනව තමයි ඒත් මම ආසයි ඔයා ඒ  හීනෙ හැබෑ කරනවනම්." "අනේ මට බැහැ තරූ ඔයා නැතුව ඉන්න." කෙතරම් පෙරැත්ත කළද  දමිතගේ හිත වෙනස් කරගැනීම එතරම්ම පහසු කාර්‍යයක් නොවීය.තරූ නැතිව මොහොතක්වත් සිටිය නොහැකි තරමට ඔහු තරූට ආදරය කළේය. නමුත් සෑහෙන කාළයක් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දමිතගේ විශ්වවිද්‍යාල ඉල්ලුම්පත්‍රයේ ඉංජිනේරු පාඨමාලාව ඉහළින් සටහන් කරගැනීමට තරූට හැකිවිය.
                                               කෙමෙන් කෙමෙන් ගෙවී ගිය කාලය දෙදෙනාටම සරසවියේ දොරටු විවර කළ දුන්නේය.දමිත ඉංජිනේරු පාඨමාලාව සඳහා ඇතුළත්වූ අතර තරූට පරිගනක විද්‍යා පාඨමාලාවේ දොරටු විවර වුණි.දෙදෙනාම විශ්ව විද්‍යාල ජීවිතයට අත්පොත් තබන්නට වූහ. වසර 13ක් තිස්සේ පාසල් වල ඉගෙනගත් මොවුන් හට සරසවිය වූ කලී තවත් නැවුම් අත්දැකීමක් විය. විවිධාකාර යහළු යෙහෙළියන් , පෙර නූගත් පාඩම්, නොතේරෙන ලෙක්චර්ස් ඇතුළත් අමුතුම සංස්කෘතියකට උරුමකම් කීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.
                                             නමුත් දමිතට දැකගන්න ලැබුණු පරිසරය හා තරූට දැකගන්නට ලැබුණු පරිසරය අතර වෙනස්කම් බොහෝමයක් තිබුණි. සරසවියෙන් සරසවියට , පීඨයෙන් පීඨයට , සිරිත් විරිත්, නීති රීති, සන්ස්කෘතිය වෙනස් වීම එයට හේතුවයි. දමිත ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ අතර ටික කලකින් එහි රටාවට හුරු වීමට ඔහුට හැකි විය.අලුත් යහළු යෙහෙළියන් සමඟින් නැවුම් ගමනකට පියවර තැබූ ඔහු තරූ කෙරෙහි තිබූ ආදරයනම් බිඳකින් හෝ අඩු නොකළේය. තරූ පරිගණක විද්‍යාව  හැදැරීම සඳහා සරසවියට ඇතුළත් වූ අතර ඇයටද අළුත් යහළු ‍යෙහෙළියන් බොහෝමයක් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි.නමුත් තරූ හා දමිත සතියකට කිහිපවතාවක්ම හමුවීමටනම් කාලය සොයාගත්තහ.
                                          කෙමෙන් කෙමෙන් ගෙවුනු කාලය දෙදෙනාටම සරසවි මිතුරන් වඩාත් සමීප කරන්නටවිය.කොතෙක් මිතුරන් හමු වුවද තමාට ගැළපෙන සම අදහස් ඇති කිහිප දෙනෙක් හොඳම යහළුවන් බවට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. ඉතින් තරූ හා දමිතද සරසවිය තුළ තමන්ට ගැලපෙන ගැට්ට සොයාගැනීමට සමත්විය. යෙහෙළියන් කිහිපදෙනෙක් මෙන්ම යහළුවන් කිහිපදෙනෙක්ද තරූ සමඟ බොහෝසෙයින් කුළුපඟවිය.සතුටේදීත් දුකේදීත් ,අධ්‍යාපන වැඩකටයුතුවලදී පමණක් නොව තරූට උපකාර අවශ්‍ය වූ හැමවිටම මොවුන් තරූ සමඟ සිටියහ.
                                         දිලුම්ද තරූගේ මෙම මිතුරන් අතරින් කෙනෙක් විය.නමුත් ඔහු අනෙකුත් මිතුරන්ට වඩා තරූ සමඟ හිතවත්විය. මන්දයත් ඔහුද ඉතාම හොඳ , නිහතමානී ගති පැවතුම් ඇති තරුණයකු වීමයි.පරිගණක විද්‍යාව වූ කලී තරූට ඉතාමත් නීරස විෂයක් විය.සරසවියට ඇතුළුවී දින කිහිපයකින්ම ඇයට පරිගණක විද්‍යාව එපා විය.ගැහැනු ළමුන්ගේ පරිගණකය සමඟ ගනුදෙනු ඉතාමත් අල්පවීම මීට හේතුවයි.තරූද සරසවියට පැමිණීමට පෙර පරිගණකයක් භාවිතා කර තිබුනේම නැත. නමුත් මේ විෂය පැහැදිලිකරගැනීම සඳහා දිලුම් ඇයට බොහෝසෙයින් උපකාර කළේය. පරිගණකය සමඟ ගනුදෙනු කළයුතු ආකාරය, දැනසිටියයුතු බොහෝමයක් දේවල් ඔහු ඇයට කියා දුන්නේය.එපමණක් නොව විෂයකරුණුද බොහෝමයක්ම පාහේ ඔහු ඇයට පැහැදිලි කරදුන්නේය.
                                          වැඩිකළක් යාමට මත්තෙන්ම තරූද පරිගණක විද්‍යාවට ප්‍රේම කරන්නට පටන්ගත්තාය. වෙනදාට වඩා ආශාවෙන් දේශනවලට සහභාගීවුනාය. පැවරුම් යහළුවනගේ සහය නොමැතිව තනිවම කරන්නට පටන්ගත්තාය. දිලුම්ටත් පාඩම් කියාදීමට තරම් ඇය තම දැනුම දියුණුකරගත්තාය. කෙමෙන් කෙමෙන් දිලුම් ඇයගේ හොඳම යහළුවා බවට පත්වීය.එමෙන්ම දිලුම්ගේ පෙම්වතිය වූ දිනිතිද ඇයගේ හොඳම යෙහෙළියක් බවට පත්වූවාය. දමිතද තරූගේ මෙම දියුණුව දැක බොහෝසෙයින් සතුටුවිය. මන්දයත් තරූට සරසවියේ විෂයන් අපහසුවීම ගැන ඔහු බොහෝ දුකින් සිටි නිසාය.
                                       දින , සති , මාස ගෙවී ගිය අතර සියල්ලන්ම සතුටින් කල් ගෙවූහ.නමුත් දිලුම්ගේ ජීවිතයෙන් හිටිහැටියේම සතුට පලායන්නටවිය. ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ සම්බන්ධය නතරකිරීමට තීරණය කිරීම එයට හේතුවයි. දිනිතිගේ දැඩි තීරණය වෙනස් කිරීමට දිලුම් නොගත් උත්සාහයක් නැත. දෙදෙනා අතර බොහෝමයක් නොගැළපීම පවතින බවත්, එය පසුවට කරදරයක් වියහැකි බවත් ඇයගේ අදහස විය.එම නිසා මෙය දැන්ම නවතාදැමීම දෙදෙනාටම යහපත්යැයි ඇය සිතුවාය. නමුත් මුළු හදවතින්ම දිනිතිට ආදරය කළ දිලුම්ට ඇයව තම සිතින් මකා දැමීම කළ නොහැක්කක් විය.
                                         ඔහු දිනිතිගේ යහළුවන් මාර්ගයෙන්ද ඇය හට බොහෝමයක් කරුණු පැහැදිලි කළේය. නමුත් ඒ කිසිම දෙයකින් පලක්නම් නොවීය. දිනිති අතිශයිනම් හිතුවක්කාර තැනැත්තියක් වූ අතර අය ගත් තීරණයේ කිසිලෙසකින්වත් වෙනසක් සිදු නොවීය.තම හොඳම මිතුරාට හිටිහැටියේම සිදුවූ කරදරය ගැන තරූද බොහෝසෙයින් කම්පාවට පත්විය.ඇයද මේ ප්‍රශ්නයට මැදිහත්වීමට තීරණය කළාය. තරූ කිහිපවතාවක්ම දිනිති සමඟ කථා කළාය. නමුත් එම හිතුවක්කාරියගේ තීරණය වෙනස් කිරීමට ඇයටද හැකියාවක් නොලැබුණි.
        -මතු සම්බන්ධයි-                         ඊළඟ කොටසට ->>

<< කලින් කොටසට 





Saturday 21 December 2013

ඔබෙ මුතුපොට තියල යන්න









වළා පෙළට පාව යන්න
මහ සයුරේ රැළි නැගෙන්න
වෙනදා මෙන් ගී කියන්න
නුඹෙ කටහඬ තියල යන්න

අහස දිහා බලන් ඉන්න
අහසෙ මාළිගා තනන්න
වෙනදා මෙන් සිනහ වෙන්න
අපෙ මතකය තියල යන්න

මල් පිපෙනා හැටි බලන්න
විහඟුන් පියඹනු බලන්න
චුට්ටක් හිත හදාගන්න 
මගේ කඳුළු අරන් යන්න

ජීවිතයේ කඳුළු මැදින්
මට හැමදා හිනාවෙන්න
ශෝකය දුක මකාගන්න
නුඹෙ සිනහව තියල යන්න

නුඹෙ පණනළ වූ මාගෙන්
ඉවත් වෙලා ඇවිද යන්න
ඔය දෙපයම පණ ගැන්වූ
නුඹේ දිරිය තියල යන්න

හිරු සඳු තාරකා තුළින්
මගෙ හීනය මට දකින්න
වෙනදාමෙන් නිදියගන්න
ඔබෙ සෙනෙහස තියල යන්න

වෙනදා මෙන් මා බලන්න
නුඹ නාවත් වෙරළ කොනට

තව මොහොතක් හුස්මගන්න
නුඹේ සුවඳ තියල යන්න

මා හැරදා යයිනම් නුඹ
යළි කිසිදින නොඑන ලෙසට
ගෙල සිරකරගන්නට මට
ඔබෙ මුතුපොට තියල යන්න






Monday 9 December 2013

තරූ (දෙවන කොටස )


<< කලින් කොටසට 


                                      "ම්ම්ම්..... මං හිතල බලලා උත්තරයක් දෙන්නද දමිත ?" යන්නයි "හා හා කමක් නෑ තරූ ඔයාට කැමති කාලයක් අරන් හොදට හිතල බලල මට උත්තරයක් දෙන්නකො."
                                                        බොහෝමයක් ගැහැනු ළමුන් පිරිමි ළමයෙකු කෙරෙහි කෙතරම් කැමැත්තෙන් සිටියද , ඔහු විමසූ විගසම හා නොකියයි. මන්දයත් ඒ හැදිච්ච ගැහැණු ළමයෙක්ගේ ලක්ෂණයකැයි ඔවුන් තදින්ම විශ්වාස කරන නිසාවෙනි. තරූද එය එලෙසින්ම විශ්වාස කළාය. තමා සිතින් කෙතරම් දමිතට ආදරය කළද ඒ සියල්ලම යටපත් කරගෙන "මම හිතල බලන්නම්"යි කීවේ එම නිසාය.
                                                        නමුත් මෙලෙසින් වැඩි කාලයක් තම සිතෙහි දමිත කෙරෙහි තිබුණු ආදරය සඟවාගෙන සිටීමට තරූට නොහැකි විය.තරූ වැඩිකල් නොගොස්ම දමිතගේ පැනයට පිළිතුරු දුන්නාය. "මමත් ඔයාට කැමතියි දමිත." දමිතට එම වදන් පෙල මුළු ලෝකයක් දිනාගත් සේ විය. ඔහු කෙතරම් සතුටු වූවාද කිවහොත් ඔහුගේ දෙතොල් චලනය වුවද වචන පිට නොවීය. ඒ තවත් සොඳුරු ආදර කථාවක ඇරඹුම විය.                            
                                                    මෙම දෙදෙනාගේ ආදරය දිනෙන් දිනම වර්ධනය වන්නට විය. දෙදෙනාගේම හිතෙහි උපන් ආදරය දිනෙන් දිනම වැඩි වූවා මිසෙක බිඳෙකින් හෝ අඩුවීමක්නම් සිදු නොවීය. කෙතරම් ආදරය කළද , ආදරය තම ඉගෙනීමට බාධාවක් කර නොගැනීමට තරූ මෙන්ම දමිතද වග බලා ගත්තේය. මොවුන් දෙදෙනා අප පාර තොටේදී නිතර දකිනා පාසල් පෙම්වතුන් මෙන් නොවූහ. බොහෝමයක් පාසල් සිසුසිසුවියන් ආදරය කරන්නේ කෙලෙසදැයි අපට පාරකට බැස්සවිට හොඳින්ම බලාගතහැකිය.               
                                                       බොහෝමයක් පාසල් පෙම්වතුන් වූ කලී තම දෙමව්පියන්ට හොරෙන් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන්නවුන්ය. ඔවුනට නිදසේ හමුවීමට , නිදහසේ කථා කිරීමට ලැබෙන අවස්ථාව බොහෝසෙයින් අල්පය. එමනිසා පාසල් සිසුන්ගේ ප්‍රේම පාරාදීසය බොහෝවිට බස් රථය වෙයි. නැතහොත් බස් හෝල්ට් එක වෙයි. නමුත් බොහෝ පෙම්වතුන් පුද්ගලික පන්ති cut කර නිදහසේ හමුවීමට , කථා කිරීමට කාලය සොයාගනී. මෙමගින් දෙදෙනාගේම ජීවිත අඳුරු කර ගැනීමට ඔවුන් සමත්වෙයි. 
                                                     නමුත් තරූ හා දමිත එම අනුවණ ක්‍රියාව කිසි විටෙකත් සිදු නොකළහ. තම මූළික අරමුණ කුමක්දැයි ඔවුන් දෙදෙනාම මනාවට දැන සිටියහ. තරූ කෙතරම් දමිතට ආදරය කළේදයත් දමිතගේ මවටත් වඩා ඇය ඔහු ගැන සොයා බැලුවාය.ඔහුගේ ජීවිතයේ දුක සැප හැමදෙයක්ම තමාගේම කරගත්තාය. ඔහුගේ සතුටේදී ඔහුටත් වැඩියෙන් ඇය සතුටු වූවාය. එමෙන්ම ඔහුගේ දුක ඇයගේ දුකටත වඩා ඇයට වේදනාව ගෙන දෙන්නටවිය. ඇත්තටම ඇය මවකටත් දමිතටත් වඩා වැඩියෙන් දමිතට ආදරය කළාය. දමිතද එසේම විය. අනෙකාට ඇති ආදරය අතින් කිසිවිටෙකත් තමාව පැරදවීමට දෙදෙනාම දෙදෙනාට ඉඩ නොදුන්නහ. දමිත හැමවිටම තම සතුටට වඩා තරූගේ සතුට උතුම්කොට සැළකුවේය. තරූද දමිතගේ කඳුළ හා සිනහව තමන්ගේද කඳුළ හා සිනහව කරගත්තාය. ඇත්තෙන්ම සැබෑ ආදරය යනු එයයි.

                                                   කෙමෙන් කෙමෙන් කාළය ගෙවී යන්නට විය. නොදැනුවත්වම උසස්පෙළ විභාගය අත ළඟටමවිත් තිබුණි. නමුත් බිය වීමට හේතුවක් තරූට මෙන්ම දමිතටද නොතිබුණේය.මන්දයත් දෙදෙනාම හොඳින්ම අධ්‍යාපන කටයුතුද කරගෙන තිබුණු නිසාවෙනි.මේ දෙදෙනාම ගණිත අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් වූහ. නොදැනුවත්ම්වම උසස්පෙළ ආරම්බක දිනයද උදාවිය. "හොදට ලියන්න පැටියො කොහමහරි A තුනක් දාන්න බලන්න. " "ඔයත් , අපි දෙන්නම A තුනක් අරන් එකම campus එකට යමු දමිත." "හ්ම්ම් මටත් ඕන ඒකමයි තරූ , අපි දෙන්නටම එකම campus එකට යන්න ලැබෙනවනම් !" "හා හා දැන් යන්න එහෙනම් exam එකට යන්නත් late වෙනවනෙ , හොදට ලියන්න එහෙනම් බුදු සරණයි !" "ඔයත් හොදට ලියන්න බුදු සරණයි !"
                                                     උසස්පෙළ විභාගය තමන් බලාපොරොත්තුවූ ලෙසින්ම හොඳින් කරගැනීමට දෙදෙනාම සමත්විය. උසස්පෙළ නිමා වුවද හැකි සෑම විටම තරූව හමුවීමට දමිත කටයුතු සලසාගත්තේය. "අදත් ගෙදරට බොරු කියන්න උනා නේද තරූ?" "ඔව් පැටියො ඉතිං ඇත්ත කියල එන්න විදියක් නැහැනෙ." "මං නිසා ඔයාට ගෙදරට බොරුත් කියන්න උනා නේද?" "ඒකට මොකද අනේ ඉදල හිටල බොරුවක් දෙකක් කිව්වට පව් සිද්දවෙන්නෙ නැහැනෙ." "හ්ම්ම්... ඇත්තද?" "ඔව් ළමයො ඇත්ත තමයි." "campus යන්න ගත්තම අපි මේක අම්මලාට කියමු තරූ." "අනේ ඔව් දමිත එතකොට අපිට මෙහෙම හැංගි හැංගි meet වෙන්න ඕනෙ නැහැනෙ." "හ්ම්ම් ඒ ඉතින් මට campus යන්න පුළුවන් උනොත්නෙ ,""මොකද ළමයො බැරි? ඔයාගේ chemistry , physics දෙකේම mcq  50 ට වැඩිය තියනවනෙ, තව මොනවද ඉතින්? මට තමයි ඉතින් බැරිවෙනවනම් බැරිවෙන්නෙ," "බයවෙන්න එපා සුදූ ඔයාටත් හොඳ result  එකක් ඇති , 50 ට වැඩිය නැති උනාට 45ට වඩා තියනවනෙ ඔයාට. " "හ්ම්ම්.. එහෙම උනොත් කොච්චර දෙයක්ද,"


                                                    දින සති ගෙවී ගියේය ඒ උසස්පෙළ ප්‍රථිපල නිකුත් වූ දිනයයි. "තරූ කොහොමද පැටියො ඔයාගේ results ? " "ම්ම් මට..."

                                                                  
           -මතු සම්බන්ධයි-        ඊළඟ කොටසට->>
                                                       
                                                           








Sunday 1 December 2013

තරෑ




                                                   "හ්ම්ම්ම්...ඉතිං පැටියො අපි කවද්ද ආයෙම meet වෙන්නෙ?"   "ම්ම්ම්.. next sunday ආයෙම meet  වෙමු නේද?"  "අනේ තරූ ඒකට තව සතියක් ඉන්න වෙනවනෙ අපි ඊට කලින් ආයෙ meet වෙමුකො."  "අනේ දමිත, මට campus එකේ වැඩ ගොඩායි , ඒව ඉවරයක් කරගන්නත් ඕනනෙ.අපි  next  week meet වෙමු.අනික  හැමදාම ඔයා මට call කරනවනෙ."  "ඔයා දැන් වෙනද වගේ නෙවෙයි තරූ, campus ගියාට පස්සෙ හුඟාක් වෙනස් වෙලා."  "අනේ දමිත, ඔන්න ඉතින් ආයෙම පටන්ගත්ත.  හා දැන් මම campus එකේ වැඩ කරගන්න එපාද?"
                                                       "හරි හරි ඉතිං මන් ඒව කරගන්න එපා කිව්වෙ නෑනෙ සුදූ , මං ඔයාට කිව්වෙ sunday වලට කලින් තව දවසක meet වෙමු කියල විතරයිනෙ ,වෙනදත් අපි සතියකට දෙතුන් දවසක් මීට් උනානෙ ඉතින්." "හරි හරි ළමයො, එතකොට මට exam තිබුනෙ නැහැනෙ මට මේ දවස් වල campus එකේ exam , exam  ඉවර වුනාම වෙනද වගේම අපි ආයෙත් මීට් වෙමුකො." "හ්ම්ම් හා හා exam එක හොදට කරගන්න එහෙනම්."    ඇය  "තරහද ඔයා?" ඔහුගෙන් පිළිතුරක් නොමැත. ඇය නැවතත් කථා කරයි. "ම්ම්ම් ඔන්න ඉතිං  ආයෙම upset ගහල, අනේ දමිත මාව තේරුම්ගන්නකො පැටියො." "හ්ම්ම් හරි හරි මම තරහ නෑ, හැබැයි exam එකෙන් පස්සෙනම් ඔන්න මට ඔයාව වෙනද වගේම මීට් වෙන්න ඕන හොදද?"
                                                           "හා හා මන් දැන් බෑ කිව්වද ඉතින් ?  කෝ දැන් බුම්මගෙන ඉන්නෙ නැතුව චුට්ටක් හිනාවෙන්නකො.. කෝ ඉතින්...."  ඔහුගේ මුහුණට මද සිනහවක් නැගෙයි. "හ්ම්ම් එහෙනම් හොදට පාඩම් කරල exam  එක ලියන්නකො පැටියො, කොහොමහරි මේ පාර batchtop වෙන්න  ඕන හොදද ? " "අනේ මන් කොහොමද batchtop වෙන්නෙ , මට වඩා දක්ෂ ළමයි ඕනතරම් අපේ campus එකේ ඉන්නවනේ."  "නෑ නෑ පැටියො ඔයාට පුළුවන් ඔයා try කරන්නකෝ." "හ්ම්ම් පන්ඩිතය , මට advice කරන්නෙ ඔයා exam  එකට පාඩම් කරන්නෙ නැද්ද?" "ආ... අපිටනම් තව කල් තියනවනේ." "හ්ම්ම් කොච්චර කල් තියනවද?" "තව මාසයක්ම තියනවනේ සුදූ." "මාසයක් ඇතිද අනේ පාඩම් කරන්න දැන්ම ඉදන් ඔයත් පාඩම් කරන්න ගන්න ඉතිං." "හරි හරි සුදූ තව කල් තියනවනේ මං ඒව වෙලාවට කරගන්නම්." "හ්ම්ම් එහෙනම් මම දැන් යන්නද?" "හොදයි පරිස්සමින් යන්න." "ඔයත්....."
                                                              ඒ තවත් එක් ප්‍රේමාන්විත හමුවීමක අවසානය විය. මෙතරම් ආදරය කරන, මෙතරම් ගැලපෙන පෙම් යුවලක් මේ විශ්වයේ තවත් සිටීදැයි සිතාගත නොහැකිය. ඔවුන් එතරම්ම ආදරණීයය ,සමීපය, ලෙන්ගතුය. ලෝකය ලස්සන කරනේ , මිනිසා ඇඳ බැඳ තබාගන්නේ ආදරයයි. සැබවින්ම, ජීවිතය අර්ථවත් කරන්නේ ආදරයයි. මොවුන් දෙදෙනාගේ කැදැල්ල තුළද එම ආදරය පිරී ඉතිරී ගියේය. තරූ හා දමිත වූ කලී එකිනෙකාට එකිනෙකාට අපමණ ලෙස ආදරය කර්න ලද ආදරණීය පෙම් යුවලකි. 
                                                            තරූ වූ කලී ඉතාමත්ම ආකර්ෂණීය යුවතියකි. ඇය සුදුය , ලස්සනය, අහිංසකය, දක්ෂය ඊටත වඩා හොඳ හැදියාවක් ඇති හොඳ ගතිගුණ ඇති යුවතියකි. මෙවන් තරුණියකට ඇලුම් නොකරන පිරිමියෙක් සිටීද? ඇයගේ බාහිර රූපයේ පමණ්ක් නොව හිතේද වූයේ පුදුමාකාර ලස්සනකි. මෙවැනි ගැහැණුන් අද ලෝකයේ දුලබය. මෙවැනි යුවතියකගේ අත ගන්නා තැනැත්තා සැබවින්ම භාග්‍යවන්තයෙක් විය යුතුය.ඔහු ඒ සඳහා බොහෝ පින් කොට තිබිය යුතුය.
                                                         තරූ ප්‍රථමයෙන්ම දමිතගේ නෙත ගැටෙන්නේ පුද්ගලික පන්තියකදීය. ප්‍රථම දැකුමෙන්ම ඇය ගැන ආලයක් ඔහුගේ හිතේ රෝපණය විය. නමුත තරූ කෙරෙහි ආදරයක් ඇති වූ ප්‍රථම පිරිමියා ඔහු නොවීය. සම වයසේ බොහෝමයක් පිරිමි ළමුන් තරූ ගැන බලාපොරොත්තු තබාගෙන සිටියෝය. බොහෝ දෙනා ඇය වෙනුවෙන් වෙහෙසුණහ. ඇයගේ පසුපස ආහ. දමිතට කලින් පිරිමි ළමුන් කිහිපදෙනෙක්ම තරූගෙන් කැමැත්ත විමසා තිබුණහ. නමුත් ඒ කිසිම කෙනෙක් හට තම ආදරය පුද කිරීමට තරූ කැමති නොවීය. නමුත් තමා කෙරේ නම් ඇය යම්කිසි විශේෂයක් දක්වන බව වැඩි කල් නොයාම දමිතට තේරුම්ගත හැකි විය.


                                                           දෙදෙනා අතරේ වචනයක හෝ කථාවක් සිදු නොවුනද දිනෙන් දිනෙම ඔවුනොවුන් ගැන යම් විශේෂ හැඟීමක් දෙදෙනාටම දැනෙනෙනට විය. දමිත වූ කලීද කිසිම අඩුපාඩුවක් නොතිබූ කොල්ලෙක් විය. ඔහු ඉතාම දක්ෂයෙකි. පාසලේ වැඩ කටයුතු ඉතාම හොදින් සිදු කළේය. පුද්ගලික පංතියේ පවතවන ලද හැම විභාගයකින්ම පාහේ වැඩිම ලකුණු ලබාගත්තේ ඔහුය.ඔහු හැඩකාරය එමෙන්ම නිරහංකාරය ඉතින් අන් සියල්ලන්ම පරදා තරූගේ සිත ඔහු කෙරේ ඇදී යාම පුදුමයක් නොවේ.
                                                        වැඩිකල් නොගොස්ම තරූගෙන් මේ ගැන විමසීමට දමිත තීරණය කළේය. ප්‍රථම වතාවට ගැහැණු ළමයෙකුගෙන් කැමැත්ත විමසීම ඉතාමත් අසීරු ක්‍රියාවකි.ඇය තමාට කැමතිවන බැව් හොදිනම දැනගෙන සිටියත් හදිස්සියෙන්වත ඇය මට අකමැති උනොත් යන හැඟීම නිතරම සිත තුළ වැඩ කරයි. එසේ වුවහොත ඇය කෙරේ තිබූ යාළුකමද නවතවන්නට සිදුවේවි. මේ යාළුකම නැතිකරගන්නට තිබූ බිය නිසාවෙන්දෝ බොහෝමයක් පිරිමි ළමුන් පාසල් කාලය නිමාවනතෙක් මේ ගැන ඇයගෙන නොවිමසා සිටීමට තීරණය කරති. පාසල් කාලයේ ඇතිවන ආදර කථාවලින් බොහෝමයක්ම මෙලෙසින් ඇරඹීමටත් පෙරම අවසාන වෙයි. මන්දයත් පාසල් කාලයෙන් පසු ඇය කොහේ සිටියිද , කුමක් කරයිද යන්න පවා සොයාගැනීමට පිරිමි ළමයා අපොහොසත් වීම හේතුවයි. එසේ සොයාගත්තද ඒ වනවිට ඇය වෙන කෙනෙක්ගේ වී හමාරය.
                                                           කෙසේ වෙතත් තරූ හා දමිතගේ ආදර කථාවනම් ඒ අවාසනාවන්ත ඉරණමට ලක් නොවුනි. උසස් පෙළ පංතියේ මුල් කාලයේදීම ඔහු ඇයගෙන් මේ ගැන විමසන්නට සමත් විය. ඇය එයට පිළිතුරු දුන්නේ මෙලෙසිනි...
                                                                                   ඊළඟ කොටසට -->           -මතු සම්බන්ධයි-                                                






Sunday 24 November 2013

අහිමි මුත් ඔබ



ඔබ හමුවූයේ
අහම්ඹෙන්මුත්
එය අහඹුවක් නොවන්නට ඇති......
මේ භවේ හමුවුනත් මෙලෙසින්
සසරෙ අපි ආදරෙන් ඉන්නැති
පළමු දැකුමෙදි නුහුරුමුත් නුඹ
      හුරුයි දැනුනේ එම නිසා වෙන්නැති.......
පෙර භවයකදි ඔබට දුක් දී
ඔබ අතැර මා දුරක යන්නැති

මේ භවේ මා හට කඳුළු දී 
   ඔබ දුරක ගියෙ ඒ නිසා වෙන්නැති.....
ආදරේ මගෙ සිතෙහි රඳවා
           එනතුරා ඔබ මගබලන්නෙමි.........
-Anonymous author-









Wednesday 20 November 2013

මේ ගහ යට









හිරු මඬළෙන් සැඟවී සිට
සිසිල දුන්නු මේ ගහ යට
හමු වූවා මතකද අප
ඉඩක් තිබුණු හැම දිනකම


      නුඹේ ළපටි බොළඳ කථා
      සිත සැනසූ මිහිරි සිනා
      අතිනත් පටළා සැමඳා
      මුකුළු කළා මේ ගහ යට


           අදින් පසුව මා නෝඒවි
           ඔබ මේ දෙස බලා යාවි
           සෙවණ දෙන්න කෙනෙක් නැතයි
           
මේ ගස හෙට දින හඬාවි 


                    අපෙ ආදර කථා පුවතෙ
                    තිතක් නෑර හැම දෙයක්ම
                    දැනන් හිටියා මේ මහ ගස
                    අන් සැමටම වඩා හොදට


                             අප දෙදෙනගෙ වෙන් වීමට
                             කෙළෙස එකඟ වන්නද මෙය
                             දැනන් හිටිය එයත් හොඳට
                              මං ගොඩක් නුඹට ආදරෙ කළවග



                                    කථා කරන්නට හැකිනම්
                                        හඬා කියයි මෙගස නුඹට
                                        දාල යන්න එපා කියල
                                        මෙතරම් පෙම් කරපු මාව


                                         කුමක් කරන්නද සොඳුරිය
                                         එයත් අසරණයි මා ලෙස
                                         මටමෙන් එයටත් කිසිලෙස
                                         නවත්තන්න බෑ ඔබ අද


                                                            




Saturday 16 November 2013

ආදරය







                                                             බටහිර අහසේ කෙමෙන් කෙමන් හිරු සැඟවී යන්නාත් සමඟම සැඳෑ අඳුර කවුළු දොරින් බෝඩිම් කාමරය තුළට ඇතුළු වන්නට විය. පෙරළමින් සිටි පොතෙහි අකුරු අපැහැදිලි වූ නිසාදෝ විදුලි පහන දැල්වීමට මට සිත් දුනි. නමුත් බිත්තිය ළඟට යෑමට තිබූ කම්මැලිකම නිසාදෝ අඳුරේම තව ටික වේලාවක් සිටීම සුදුසුයැයි මට සිතුණි. කියවමින් සිටි පොත පැත්තකට දැමූ මා කවුළුව වසා දමා ඇඳ උඩට ගොඩ උනෙමි.
                                                             ඇඳ උඩට ගොඩ වූ මාගේ සිතට නොයෙකුත් සිතුවිලි ගලාගෙන එන්නට විය. ඒ සියල්ලම යටපත් කරගෙන හදවතට දැනුනු අමුතුම හැඟීම පාළුව හෝ තනිකම විය යුතුයැයි මට සිතුණි. හුදකලාව , විරහව , සංවේගය මේ සියල්ලම එකම දම්වැලක පුරුක් වැනියැයි මට සිතේ. මේ සිතුවිලි අතරේම ඇසට ගොම්මන් අඳුරද හුරු වූ විට තවත් අමුතුම ආකාරයේ සංවේදනයක් හදවතට දැනෙයි. බෝඩිම් කාමරයේ බිත්ති හතරට සිරවී සිටින මට පාළුව තනිකම මැකීමට කෙනෙක් සිටියානම් හොඳයැයි අනන්තවත් සිතී ඇත. එසේනම් මට ඇය සමඟ දවස පුරාම sms කර කර සිටිය හැකිවනු ඇත. අනිත් අය මෙන් නිතර නිතර ඇය සමඟ කථා කිරීමට හැකිවනු ඇත. ඇත්තටම එවිට පාළුවක් නොදැනෙනු ඇත.
                                                             ඇත්තටම මේ කියන තරම් ආදරය සුන්දරද ? නැතිනම් මේ සියල්ලම මවාපෑමක් පමණක්ද? ආදරය මෙතරම් සුන්දරනම් ලොව මේ තරම් විරහ ගීත බිහිනොවනු ඇත. හැම ආදර කථාවකම අවසානය කඳුළක්ද? නැතහොත් සිනහවක්ද? විවිධාකාර වූ ප්‍රශ්න මගේ හිතට ගලා එන්නට විය. ගඟක ගැඹුර කිසි දිනක ගොඩ සිට නිමානය කල නොහැකිය. ඒ සඳහා ගඟට බැස බැලිය යුතුමය. ගංඟාවක් මතුපිට ඇති සම ජල ස්කන්ධයක් සේ අපට දර්ශනය වුවද එය පතුලේ බොහෝ ගල්පර ,ආවාට , ආගාධ සැඟවී තිබිය හැක. ආදරයද එලෙසම විය යුතුය.
                                                               ඉතින් ආදරය කරන්නේ කෙලෙසද? ඒ සඳහා ප්‍රථමයෙනම ආදරය කිරීමට කෙනෙක් තෝරාගත යුතුය. ඒ කෙලෙසද ? අපේ ඇඟ තුළ හදවත හා මොළය ඇතුලට වන්නට පිහිටා ඇති නිසාදෝ හැම දේකටම ඉස්සර වන්නේ ඇසයි. එනිසා ගැහණියකගේ වුවද මුලින්ම අප සිත ඇදී යන්නේ ඇයගේ රූපයටයි. ආදරය කිරීමටනම් ගැහැනියක් ලස්සන විය යුතුමද ? මම එසේ නොසිතමි. එදිනෙදා ජීවිතයේ පාරතොටේදී අපට බොහෝමයක් ගැහැනුන් මුනගැසෙයි. නමුත් රත්‍රී නින්දට යන මොහොත වනවිට මේ සියල්ලම අපේ මතකයට නගාගතහැකිවේද? මටනම් නොහැකිය. ඇත්තටම කෙනෙක් ගැන මතකයක් අප සිතේ රැඳීමටනම් යම්කිසි විශේෂයක් ඔහු හෝ ඇය තුළ තිබිය යුතුය. එය කෙනෙකුගේ දුර්වලතාවයක් , දස්කමක් නැතහොත් ඔහුගේ ගොන් වැඩක් විය හැකිය. නැත්නම් ඔහු හෝ ඇය කෙරෙහි පෙර ආත්මයක බැඳීමක් තිබිය යුතුය.
                                                             නමුත් මේ සියල්ලකටම අප යම් කෙනෙකු දිහා බොහෝ වේලා අධ්‍යයනය කළ යුතුය. නමුත් ගැහැණියකගේ මේ සියල්ලටම වඩා අප මතකයෙහි රැඳීමට හේතුවන කාරණයක් ඇත එනම් ඇයගේ ලස්සනයි. ගැහැනියක් ලස්සන වෙයි නම් අපට බොහෝ කාලයක් ඇයව මතක සිටියි. නමුත් ගැහැනියක් සුන්දර වන්නේ මතුපිටින් පෙනෙන ලස්සන නිසාම පමණද?
                                                        එය එසේ විය නොහැකිය , ගැහැනියක් ලස්සන වන්නේ බාහිරින් පමණක් නොවෙයි ඇය හදවතින්ද ලස්සන ගැහැනියක් විය යුතුය. ගැහනියක් කෙතරම් ලස්සන වුවත් ඇය අකාරුණිකනම් , ආත්මාර්ථකාමීනම් ඇය සමඟ ජීවත් විය හැකිද? බාහිර ලස්සන වූ කලී හුදෙක් තාවකාලික දෙයක් පමණ්කි. එය අවුරුදු දහයකටත් වඩා අඩු කුඩා කාලයකට සීමා වන්නකි. අන් සියල්ලම මෙන්ම බාහිර ලස්සනද වෙනස්වෙයි ලස්සන අවලස්සන වීමට ගතවන්නේ ඉතා කුඩා කාලයකි.නමුත් අභ්‍යන්තර ලස්සන සදාකාලිකවෙයි. එය අපගේ ජීවිත කාලය පුරාම පවතින අතර කිසිදිනකත් මහළු නොවෙයි.
                                                           නමුත් බාහිර මෙන්ම අභ්‍යන්තර ලස්සනින්ද හෙබි ගැහැනුන්  අද සමාජයේ සිටීද? සිටිනවා ඇත නමුත් සෙවීම ඉතා අපහසුය. මන්දයත් අභ්‍යන්තර ලස්සන අපට මතුපිටින් බලා තීරණ්ය කළ නොහැකි වීමයි. සමහරවිට කෙනෙකු හඳුනාගැනීමට මුළු ජීවිත කාළයම වැයවනු ඇත. අද සමාජය වාණිජකරණයට ලක් වූ එකකි. හැමදේම මෙන්ම ආදරයද මුදලට විකිණී ඇත. ටොෆි , චොක්ලට් , මාල , මුදු ආදරය වී ඇත. අද බොහෝ තරුණියන් ආදරය මනින්නේ මේවාගෙනි. නමුත ආදරය කිසිදිනල මුදල් වලින් මැනිය නොහැකියැයි මට සිතේ.
                                                          ආදරය කිරීමත් හිතපු තරම් ලේසි නැත. ආදරය කිරීම නම් කෙසේ හෝ කළ හැකිය ටොෆි  , චොකලට්ද මිලදීගතහැකිය නමුත් ආදරය කිරීමට හොද කෙල්ලෙක් සොයාගන්නේ කෙසේද? එය ඉතාමත් අපහසු කාර්යකි. හොඳයි කෙසේ හෝ හොඳ කෙල්ලෙක් සොයාගත්තායැයි සිතමු ඇය මට කැමති වේද? තවත් ප්‍රශ්නයකි. "අම්මෝ ආදරය කරන එකත් මහ පණ යන වැඩක්නෙ" විටෙක මට සිතේ. "මචං මොකද කළුවරේ උඹ නිදිද?" නොදැනීම බොහෝ වේලා ගතවී ඇත. "අහ්හ් ආ නෑ නෑ බන්   ඔන්න ඔය ලයිට් එක දාපන්"





Monday 11 November 2013

මායාකාරී






                       සිතුවමක් වුවද වර්ණවත් වූ පමණින්ම ලස්සන නොවෙයි. එහි රේඛා , හැඩතල එක් වී ඇති ආකාරය ආකර්ෂණීයනම් කළු සුදු සිතුවමක් වුවද ඉතාමත් දැකුම්කළු වෙයි. ගැහැණියකට වුවද එය එසේමය. මතුපිටින් දකින ලස්සන පමණක් නොව , ඇයගේ අභ්‍යන්තර ලස්සනද ගැහැණියකගේ ආකර්ෂණීය භව කෙරෙහි කෙලින්ම බලපායි.                                                     ඇයද මේ කියන්නාවූ  අභ්‍යන්තර හා බාහිර යන ලස්සන දෙකෙන්ම හෙබි තැනැත්තියක්යැයි මට සිතේ. ඇය හරිම හුරතල් විසේකාර පෙම්වතියකි. ඇය හමුවීම යනු මා සිනහ සාගරයක ගිලෙන අවස්ථාවකි. ඈ මා සතු කර ගැනීමට මා නොගත් උත්සාහයක් නැත. ඈ ජීවත් වූයේ මාගේ නගරයෙන් පැය කිහිපයක පමණ දුරය. එනිසා ඇය වෙනුවෙන් මට බොහෝ දුර ගමන් කිරීමට සිදු විය.

                            ඇය මට ප්‍රථමයෙන්ම හමු වූයේ සාමාන්‍යපෙළ විභාගයෙන් පසු ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරීමට ගිය අවස්ථවේදීය. දුටු පළමු දිනයේදීම මාගේ නෙත් සිත් පැහැරගැනීමට ඇය සමත් වූවාය. ඹ්නෑම කොල්ලෙක් එක් වරක් දුටු පමණින් නැවතත් හැරී බලන තරම් වූ අපූරු රූ සපුවක් ඇය සතු වූවාය. පංති ගිය කාළය තුළදී ඇයට යම් පමණකින් ලං වීමට මට හැකියාව ලැබුනද එය ආදරයකට පෙරලා ගැනීමට තරම් කාලය ප්‍රමාණවත් නොවුණි. කෙමෙන් කෙමෙන් ගෙවී ගිය කාළය අප දෙදෙනාටම උසස්පෙළ පන්තිය සඳහා ආරාධනා කරනු ලැබීය. ඇය ඒ සඳහා වාණිජ විෂය තෝරාගත් අතර මා තෝරාගත්තේ ගණිතයයි.

                                            
                                                       
                                                       නමුත් මගේ හිතේ උපන් ආදරය යටපත් කිරීමට හැකියාවක් මට නොවීය. පාසල් අඳුමින් සැරසී එන මම සමහර දින වලට බෑගයෙ දමාගෙන එන colour kit  එක අසළ පිහිටි යාළුවෙකුගේ ගෙදරට ගොස් මාරු කරගෙන හොරෙන්ම ඇය බැලීමට යන්නෙමි. කෙසේ හෝ සෑහේන කාළයක් උතසාහ කිරීමෙන් අනතුරුව ඇය මගේ කරගැනීමට මට හැකියාව ලැබුණි. ඇත්තටම ඇය මට කැමති වූ දිනය එදා මෙදා තුර ජීවිතයේ මා වැඩියෙන්ම සතුටු වූ දිනයයි. " මමත් ඔයාට ගොඩක් ආදරෙයි " ඒ මාගේ ජීවිතය තුළ අසා ඇති සුන්දරම වඳන් පෙළයි.
                                                      ඇය මගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙර්ලුවාදෝයි මට සිතේ. ඇය දුටු දින සිට මගේ සිතේ හටගත් ආදරය වැඩිවූවා මිස අඩුවක්නම් සිදු නොවුණි. ඇයගේ කටහඬ ඇසීමට , ඇය හමුවීමට , ඇයව දැකීමට මම බෙහෙවින් ආශා කළෙමි. කෙතරම් දුරින් සිටියද පුලුවන් හැමවිටකම ම්ම ඇය හමුවීමට ගියෙමි. ඇයත් සමඟ සිටින විට කාළය ගතවෙනු මට නොදැනෙයි. මාගේ ජීවිතයම ඇයගේ නෙත් දෙකෙහි නතර වෙතැයි මට සිතේ. මේ ලෙසින් මගේ සිත අතරමං කිරීමට ඇය මායාකාරියක්දෝයි මට සිතුණු වාර අනන්තය. ඇය තුරුලේ ගෙවුකාළය ඇත්තටම ඉතාම සුන්දර විය.

                                               
                                     හැකි හැම වෙලාවකදීම දුරකථනයෙන් හෝ ඇයව ඇමතීම මගේ සිරිත විය. ඇයට  sms  කිරීම මාගේ දෛනික රාජකාරියක් විය. ඇත්තටම මගේ සිතට සතුට ගෙනාවේ ඇයයි. ඔව් මට ජීවිතය කියා දුන්නේ ඇයයි. ඒ මගේ විසේකාර හුරුබුහුටි පෙම්වතියයි. මාගේ පුන්චි මායාකාරියයි. ආදරයේ ඇවෑමෙන් උසස් පෙළින් අප ඈත්වූවාදෝයි මට සිතේ. ඇත්තටම මට එය අවබෝධ වූයේ මා උසස්පෙළ අසමත් බව දැනගත් දිනයේය. මා පමණක් නොව ඇයද උසස්පෙළ විභාගය අසමත් වී තිබුණි. ඇත්තටම වරද ආදරයේද? නැත එසේ සිදුවිය නොහැක , දුරින් සිටි නිසා අප නිතර හමුවීමද සිදු නොවුනි. කොතැනක හෝ අපිට වැරදී ඇත්තේය.
                                                       අපි දෙදෙනාම නැවත උසස්පෙළ විභාගයට සූදානම් වීමු. නමුත් ඇය හා කථා කිරීමට හෝ sms කිරීමට මට අවකාශයක් නොතිබිණි. විභාගය අසමත්වීම හේතුවෙන් දුරකථනය රාජසන්තක වූ බව ඇය මට දන්වා තිබුණි. ඇය නැතිව මොහොතක්වත් ජීවත්විය නොහැකි වූ මට ඇය සමඟ දුරකථනයෙන හෝ කථා නොකර සිටීම කල නොහැක්කක් විය. මා එතරම්ම ඇයට ආදරය කළාය. නමුත් sms  එකකින් හෝ ඇයගේ සැපදුක් විමසීමට මට නොහැකි විය. ඉතාමත් අපහසුවෙන උවද මම ඒ කාළය ගෙවා දැමුවේ කෙසේ හෝ මෙවර උසස් පෙළ සමත්වෙමි යන අදිටනිණි.
                                                       ටික කළකට පසු ඇයගේ දුරකථනයට miss call එකක් දී බැලීමට මට සිතුණි. එය වැඩකරයි. මට දැනුනු සතුටෙහි නිම්හිම් නැතිවිය. එයින් නොනැවතුණු මම sms එකක්ද දමා බැලුවෙමි. "ඔව් අනේ class  යන්න ඕන නිසා අම්ම මට ඒක දුන්න , ඒත් අපි වෙනද වගේ text  නොකර ඉමු මේ පාර කොහොමහරි A/Ls කරගන්න ඕනනේ" ඇයගේ ඉල්ලීමට මට අකමැත්තෙන් උවද එකඟ වීමට සිදුවිය. කෙසේ වෙතත් ඇය පවසන්නේ ඇත්තය.
                                                       ටික කළකට පසු ඇයගේ නමින් account එකක් මට facebook  එකේ දැකගන්නට ලැබුණි. මා දන්නා තරමින් ඇයට facebook account එකක් නොතිබුණි. කෙසේ වෙතත් මම එයට   request එකක් දමා accept කරනලෙස දන්වා  ඇයට sms එකක්ද යැව්වෙමි. " මගේ boyfriend වැඩිය කැමති නෑ අනේ මම fb යනවට මන් එයාගෙන අහල accept කරන්නම්."ඇයගේ පිළිතුර විය. මෙය පුදුම ප්‍රශ්නයකි මගේම request එක accept කරන්න මගෙන්ම අහන්න ඕනද ? "හරි පැටියො මගෙන් ප්‍රශ්නයක් නෑ ඔයා  accept කරන්න"
"ඔයා නෙවෙයි අනේ මට වෙන  boyfriend කෙනෙක් ඉන්නව එයා ගැන අපේ ගෙදරිනුත් දන්නව." ඔව් ඇය සැබවින්ම මායාකාරියකි.



                                

                                     








Friday 1 November 2013

නොගැළපීම





                         ඇගේ ලස්සන මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමට මම හුඟාක් ආශා කළෙමි.ඇගේ අතින් ඇල්ලීමට , ඇයව තුරුල් කරගෙන සිටීමට මා කෙතරම් ආශා කලාද?
                           ඇත්තටම ඇය කටකාරය , හිතුවක්කාරය , දඟකාරය ඒත් අහිංසකය.කතා කිරීමට පටන්ග්ත්විට නැවතීමක් නොමැත.ඇත්තටම ඇයගේ හුරතල් වඳන් අසා සිටීමට මම හුඟාක් ආශා කළෙමි.නමුත් හිත් පිත් නැති කාලය හැමදාම අපට හරස්වෙයි."හ්ම්ම් දැන් මම යන්නද? practicle එකකුත් තියනව enter කරන්න." ඇය පවසයි. "තව ටිකාක් ඉදල යන්නකො සුදූ මට ඔයාව ආයෙමත් දකින්න ලැබෙන්නෙ තව සතියකින්නෙ" මා පවසයි. "හ්ම්ම් හැබැයි තව ටික වෙලාවයි" සෑහෙන තරම් පෙරැත්ත කිරීමෙන් පසු ඇගේ ගමන විනාඩි පහකින් හෝ දහයකින් ප්‍රමාද කිරීමට මම සමත්වෙමි. නමුත් නැවතත් ඇය හඩනගන්නීය "දැන්නම් හොදටම හවස්වෙලා මං යන්නද?" තවත් පෙරැත්ත කිරීමෙන් පලක් නොවන බව දන්නා නිසා මම ඇයට යන්නට ඉඩ හරිමි. හවස් වී ඇත්නම් ඇයව බෝඩිමට ගෙනගොස් හැරලවමි.
                        ඇත්තටම ඇය හරි අපූරු පෙම්වතියකි. මටම ගැලපෙනවායි සිතුනු වාර ගණන අනන්තය. ඇය හමුවීම පිළිබඳ සතුටින් මා නික්ම ගියද හිතේ කොනක පුන්චි දුකක් නැතුවාම නොවේ. ඒ නැවතත් ඇයව හමුවීමට සිදු වන්නේ තවත් සතියකින් බව මම දන්නා නිසාවෙනි.  ගෙදර ගිය වෙලේ සිට නැවත ඇය හමුවන දවස එනතුරු මම ඇඟිලි ගනිමින් සිටින්නෙමි. 
                      
                        කෙතරම් ළඟපාත සිටියත් අපිට නිතර හමුවන්නට බැරි හැටි. විටක මගේ හිතට විශාල දුකක් දැනෙයි. ඇයට විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු බොහෝමය. මටද එය එසේමය. මට වැඩ නැතිදාට ඇයට වැඩය, ඇය නිදහස් දවසට මට වැඩය. ඇත්තටම මෙයනම් කිනම් පවක්ද? එය කෙසේ වෙතත් වැඩ නොමැති සතියක උවද ඇය සතියකට දෙවරක් ගෙන්වා ගැනීම බොහෝ දුෂ්කර කටයුත්තකි.ඇය හරි අමුතු ගැහණියකි.   "හම්බවෙනවා වැඩි උනාමත් එච්චර ගතියක් නෑ. "විටක ඇය එසේ පවසයි. ඇය තේරුම්ගැනීම ඉතා අපහසුය. ලොව ඇති අපහසුම කර්තව්‍යය නම් මිනිසුන් තේරුම් ගැනීම යැයි පෙර විසූ නුවණැත්තන් කියා ඇත. නමුත් ගැහැණුන් තෙරුම් ගැනීම  ඊටත් වඩා දුෂ්කරයැයි මට සිතේ.
                     විටෙක ඇය සිනාසෙයි , විටෙක ඇය හඬයි.නමුත් මේ දෙකටම ගැහැණියකට හේතුවක් අවශ්‍ය නොවේ. හදවත සිනාසෙද්දී පිටතට දුක පෙන්නුවේ නැතත් හදවත හඬද්දී පිටතින් සිනහවීමට ඔවුන් සමත්ය.
                    ඇත්තටම ඇය අපූරු ගැහැණියකි වෙනත් ගැහැනුන්ගේ නුසුදුසු විලාසිතා , විච්චූරණ වලට මම ආශා නොකරමි. කොටින්ම කිව්වොත් posh කෙල්ලන් හට මම ආස  නොකළෙමි.නමුත් ගැහැණියකගෙන් මා බලාපොරොත්තු වූ සරල බව , චාම් බව ,අහිංසක බව ඇය තුළ මනාවට දක්නට ලැබුණි. ඇත්තටම ඇය වැනි පෙම්වතියක් ලැබීමට මම කෙතරම් වාසනාවන්තදැයි මට අනන්තවත් සිතී ඇත.මා ඇයටද එය පවසා ඇත.ඒ හැමවිටම ඇගෙන් ලැබෙන්නේ "මාව ඔච්චර උඩින් තියන්න එපා" යන පිළිතුරයි.

                      ඇය සමඟ ගෙවූ කාලය ඉතාම සුන්දරය. මා ජීවත් වුණා යැයි මට දැනුනේ එම කාලය තුළය. ඇත්තටම එම කාලය මගේ ජීවිතයේ සුන්දරම කාලයයි.


                          නමුත් දැන් ඇය මා දමා බොහො දුර ගොස් ඇත. ඇගේ ලස්සන මුහුණ නැවතත් දැකීමට වරම් නැත. තව දුරටත් ඇය තුරුලු කරන් ආදර වඳන් තෙපලීමට මට නොහැකිය. ඇත්තටම දැන් එම කාලය සුන්දර අතීතයක්ම පමණකි. මෙ සියල්ලම මැදින් මට ඇසෙන්නේ ඇයගේ එකම වඳන් පෙළක් පමණි."අපි දෙන්න match වෙන් නෑ අනේ අපි මේක නවත්තමු." ඇත්තටම නොගැළපීම මෙතරම්ම කුරිරුද ?